බාධක මැද සජබ උද්ඝෝෂණය පෙරට

0
සමගි ජනබලවේගයේ උද්ඝෝෂනය අද පස්වරුවේ පැවැත්වේ. “මේ සාපය දැන් ඇති” යන තේමාව යටතේ ආණ්ඩුවට එරෙහි විරෝධතාව අද පස්වරු 02.00 ට ආරම්භ විය. ඒ අනුව මීට සහයෝගය ලබාදෙන පිරිස් අද පෙරවරුවේ කොළඹට පැමිණීම සඳහා විවිධ ප්‍රදේශවලින් පිටත්ව තිබේ.
කෙසේවෙතත් අදාළ ප්‍රදේශවල පොලිස් මාර්ග බාධක යොදවා පරීක්ෂා කිරීම් සිදුකර ඇති අතර එහිදී ඇතැම් ස්ථානවල පොලීසිය සමඟ පාක්ෂිකයින් ගැටුම් ද ඇති කරගෙන තිබුණි. නොච්චියාගම ප්‍රදේශයේදී පාක්ෂිකයින් පොලීසිය සමග වචන හුවමාරුවක් සිදුකරගෙන ඇති අතර ඊට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා ද මන්ත්‍රීවරුන් මෙන්ම විශාල සෙනගක් සහභාගී වී සිටින අයුරු දැක ගැනීමට හැකි විය.
සමගි ජනබලවේගය විසින් අද (16) උද්ඝෝෂණයක් සිදුකරන්නේනම් එය සෞඛ්‍ය උපමානවලට අනුකූලව සිදුකිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා නියෝග කර තිබේ.
අදාළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් ඊයේ (15) කොටහේන පොලීසිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එය පැවැත්වීම වළක්වමින් නියෝගයක් නිකුත් කර තිබුණි.
එම ඒකපාක්ෂික නියෝගයට එරෙහිව සමගි ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඊයේ කරුණු දක්වමින් එය ඉවත් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ බව සඳහන්ය.
අද දින දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා, ඊයේ නිකුත් කළ නියෝගය සංශෝධනය කරමින් උද්ඝෝෂණයක නිරත වන්නේ නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති සෞඛ්‍ය උපමානවලට අනුකූලව එය සිදුකළ හැකි බව නියෝග කර තිබේ.
මේ අතර සමගි ජන බලවේගය විසින් අද දින පැවත්වීමට නියමිත උද්ඝෝෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බොරැල්ල පොලීසිය සිදුකළ තවත් ඉල්ලීමක් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ප්‍රතික්ෂේප කර තිබේ.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය පොලිසියේ අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නියෝග කර තිබේ.