සාම්ප්‍රදායක ටොෆි ලොසිංජර අයවැය ක්‍රමවේදය වෙනස් කළා

0
මෙවර අයවැය කොරෝනා වලින් බිදවැටුණු රට ගොඩනැගීම පදනම් කරගත් මහජන හිතවාදී අයවැයක් බවත්, සාම්ප්‍රදායක ටොෆි ලොසිංජර පන්නයේ අයවැය ක්‍රමවේදය මෙවර අයවැයෙන් වෙනස් කර ඇති බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් බිද වැටුණු රටේ ආර්ථිකය ගොඩගැනීම සදහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලසුම් මෙවර අයවැයෙන් ඉදිරිපත් ව ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව ඉදිරිපත් කරපු මංගල අයවැය  මහජනතාව මත කිසිදු බරක් නොපැටවූ  අය-වැයක් ලෙසයි  අපි දකින්නේ. වසංගත තත්වය එන්න කලින් යහපාලන ආණ්ඩුව රටේ ආර්ථිකය බිඳ දමා තිබුණේ. වසංගතය නිසා ආර්ථිකය තවතවත් කඩා වැටීමට ලක් වුණා. කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැංවිය හැකි දිගුකාලීන හා මධ්‍යකාලීන දීර්ඝ කාලීන විසඳුම් මෙම අයවැය යෝජනාවලියට ඇතුළත්. ජනතාවට බරක් නොවී රට නැවත ශක්තිමත් ආර්ථිකයක් කරා ගෙන යාම අපේ ආණ්ඩුවේ  අපේක්ෂාව.
විපක්ෂයට රජයක් ගෙනයාමේ ශක්තියක් නැති බව ඔවුන් දන්නවා.අසාර්ථක භාවය නිසාම ජනතාව යහපාලන රජය ගෙදර යවලා වැඩි  කාලයක් නැහැ. සමගි ජන බලවේගය කියලා නම වෙනස් කරගෙන ජනතාව ඉදිරියට ආවට ඇතුලේ ඉන්නේ පරණ මුහුණු බව ජනතාව දන්නවා. ඒ වුණත් විපක්ෂය උත්සාහ කරන්නෙ කොහොමහරි ආණ්ඩු බලය ගන්න. ලෝක වසංගතයක් එක්ක, කඩා වැටුණු ආර්ථිකයක් එක්ක අපේ ආණ්ඩුව කරපු දේවල් සමගි ජන බලවේගය ට හීනයක්. රටේ තත්වය දැන දැනත්, තමන්ගෙ තත්වය දැන දැනත් කොහොමහරි ආණ්ඩු බලය ලබාගන්න උත්සාහ කරන්නේ රට හදන්න නෙවෙයි. තමන් හැදෙන්න.
රටේ ආර්ථික තත්ත්වය තුල අපේ ජනතාව පීඩාවට පත් කරන අය වැයක් ගෙනෙයි කියලා විපක්ෂය බලාපොරොත්තු වුණා. ඒත් අයවැයට ඇහුම්කන් දුන්නට පස්සේ විපක්ෂයේ බලාපොරොත්තු සුන් වෙලා කටඋත්තර නැතුව ඉන්නෙ. විපක්ෂ නායකතුමා සෝමාලියානු ඉතියෝපියානු පන්නයේ අය වැයක් ගැන කියනවා. ඒ වගේ අය අයවැය ගෙනාවේ එතුමා හිටපු පහුගිය යහපාලන ආණ්ඩුවයි. අපේ රජයක් බලයට පත් වුණු හැම අවස්ථාවකම දැක්මක් සහිතව යම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. ඒ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සදහා පියවරෙන් පියවර ඉදිරියට යන අය වැයක් ගෙනාවා.
විශ්‍රාම යාමේ වයස අවුරුදු 65ක් කළ නිසා රාජ්‍ය සේවයට එක් වීමේ අවස්ථාව අහිමි වෙනවා කියලා විපක්ෂයෙන් කතාවක් ගෙනියන්න උත්සාහ කරනවා. රාජ්‍ය සේවය තුළ රැකියා අවස්ථා ලක්ෂ දාහතක් පමණ තිබුනත් මේ වන විට රාජ්‍ය සේවයේ ඉන්නේ ලක්ෂ දාහතරත පමණ පිරිසක්. තරැණ තරුණියන්ට රාජ්‍ය සේවයට එන්න තියෙන අවස්ථාව විශ්‍රාම වයස අවුරුදු 65 කිරීම නිසා අහිමිවෙන්නේ නෑ. හැමදාමත් රාජ්‍ය සේවය ශක්තිමත් කළේ අපේ ආණ්ඩුයි. විපක්ෂය ආණ්ඩු කළ කාල වල දී රාජ්‍ය සේවයට බඳවා ගැනීම් නතර කළා. රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය නැති කරන්න උත්සාහ කරා. වසංගත තත්ත්වය තුළ නිවසේ සිටියත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුවකින් තොරව ලබා දුන්නේ අපේ ආණ්ඩුවයි. පවතින ආර්ථික තත්ත්වය යහපත් වූ වහාම රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට අපි කටයුතු කරනවා.
වසර 24ක් තිබුණු ගුරු අර්බුදය අපේ රජය විසඳුවා. මේ ගැටළුවට විසඳුම් දෙන බව සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙළෙන් අපි රටට සහතික වුණා. පහුගිය කාලේ අපි කිවුවා අයවැයෙන් මේ ප්‍රශ්නේ විසදනවා කියලා. නමුත් ඇතැම් දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෘත්තීය සමිති ගුරුවරුන් දඩමීමා කරගෙන රජය අපහසුතාවයට පත් කරන්න කටයුතු කළා. ඉස්සර වෘත්තීය සමිති වල අවශ්‍යතාවය දේශපාලන පක්ෂ විසින්  ඉටු කළත් අද වෘත්තිය සමිති ඉටු කරන්නේ කරන්නේ දේශපාලන පක්ෂවල අවශ්‍යතාවය. ගුරු ගැටලුව විසඳුමේ සැබෑ  ගෞරවය අපේ රජයටයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප් හිමිකම ලබන්න වසර 10ක් සිටිය යුතු යැයි කියන යෝජනාව ආණ්ඩු පක්ෂය තුළින්ම මතු වූ යෝජනාවක්. ඒ සදහා මේ වන විට ජනතාවගේ ප්‍රසාදය පළ වී තිබෙනවා. රට හදන්න නම් කැපවීම අප විසින් මුලින් සිදු කළ යුතු බව අපේ ආණ්ඩුවේ ස්ථාවරයයි.  මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම ක්‍රමය ගැන ජනතාව තුළ දැඩි අප්‍රසාදයක් තිබුණා.ඒ අප්‍රසාදය අසාධාරණ නැහැ. රාජ්‍ය සේවකයෙක් විශ්‍රාම වැටුප් වැටුපට හිමිකම් කියන්න නම් රජයේ සේවයේ වසර දහයක් කටයුතු කරලා තියෙන්න ඕනේ. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියලා වෙනස් වෙන්න ඕනේ නෑ. මේ වසර පහ ගෙවුණට පස්සෙ තව වසර පහකට පාර්ලිමේන්තුවට එන්න නම්   ජනතා ප්‍රසාදය දිනා ගන්න ඕනේ කියන එක ඔවුන් දැන් දන්නවා.
විපක්ෂෙට අයවැය  සම්බන්ධයෙන් සාම්ප්‍රදායික විවේචන හැර වෙනත් කිසිවක් නැහැ. බැසිල්  රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස මෙවර අය වැයෙන් වෙනදා අයවැය වලින් වගේ  හිත් හදන, ටොපි, ලොසින්ජර දීලා නැහැ. බොහෝදෙනා කියනවා බඩු මිල පාලනය කරන්න මේ ආණුඩවට බැහැයි කියලා. අයවැයෙන් බඩු මිල අඩු වුණේ නෑ කියලා. බඩු මිල පාලනය කිරිම සදහා තාවකාලික පැලැස්තර විසදුම් දීමේන් පළක් නෑ. ඒ සදහා විධිමත් වැඩපිළිවෙලක් සකස් විය යුතුයි. ඒ නිසායි මෙවර අයවැයෙන් නිෂ්පාදන ආර්ථිකයක් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. නිෂ්පාදනය වැඩි කර භාණ්ඩ සුලබ කිරීම තමයි මේකට විසදුම. මිල පාලනය කරන්න පුළුවන් එකම ක්‍රමයත් ඒකයි. මෙවර අයවැය තුළින් නිෂ්පාදනය ආර්ථිකයක් හදන්න අවශ්‍ය පරිසරය සකස් කරලා තියෙනවා. ඒ අනුව මේ අයවැයේ ප්‍රතිඵල ලැබෙනවිට ජනතාව අද මුහුණ පා සිටින බඩු මිල ප්‍රශ්නය වැනි ප්‍රශ්න වලට විසදුම් ලැබේවියැයි අපි අපේක්ෂා කරනවා.