Political fact / දේශපාලන කතාබහ

0
By: අශන්ති වරුනසුරිය
ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලිකදු මත වාහන ධාවන පථය
ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලිකදු මත වාහන ධාවන පථය ඉකුත් බදාදා විවෘත කෙරුණේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.  නාමල් රාජපක්ෂ මහතා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙනුත්, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විශේෂ ආරාධිත අමුත්තා වශයෙනුත්  මෙම අවස්ථාවට එක්ව සිටියහ. ඊට අමතරව පවිත්‍රා වන්නිආරච්චි, සාගර කාරියවසම් සහ රේණුක පෙරේරා යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
කලම්බු ඩියුන්ස් ලෙස නම් කළ මෙම ධාවන පථයේ ධාවනය කළ හැක්කේ ඒ.ටී.වී වාහනයි. අක්කර හතරක  පමන භූමියක  විහිදුණු කිලෝමීටර් දෙකක් පමණ දුරැති මෙම ධාවන පථය ක්‍රේට් ඇඩ්වෙන්චර්ස් පෞද්ගලික ආයතනයේ ආයෝජනයකි.
සංචාරක කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගයක් වී ඇති රටක් ලෙස ශ්‍රී ලංකාවට මෙම පුද්ගලික ආයෝජනය වටිනාකමින් ඉහළ ය. සෞඛ්‍යාරක්ෂිත නව මුහුණුවරකින් සංචාරක කර්මාන්තය යළි නැගී සිටින මේ අවස්ථාවේ සංචාරකයන්ගේ සිත් ඇද බැඳ ගන්නා මෙවැනි පෞද්ගලික ආයෝජන රටේ ඉදිරි ගමනට සදහා වැදගත් සාධක වේ. මෙම වැලි කඳු ධාවන පථය මාර්ග තුනකින් යුක්තව ඉදිකර තිබේ.
ධාවන පථය විවෘත කරමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා  පළමුව වාහනයක නැගී ධාවන පථයේ ගමන් කළේය. කිලෝමීටර් දෙකක් පමණ දුර වාහනය ධාවනය කළ අමාත්‍යවරයා පැමිණ සිටිය ආරාධිත අමුත්තන් සිටි ස්ථානය ආසන්නයේ වාහනය නතර කර
” ඇමතිතුමා යමු මාත් එක්ක රවුමක්” යැයි නාමල් ඇමතිවරයා ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ට පැවසීය.
“අම්මෝ මට බෑ” ප්‍රසන්න කීවේය.
” මම එක්කනෙ යන්නේ බයවෙන්න එපා” නාමල් පෙරැත්ත කළේය.
” එක දවසක් මට මාර වැඩක් උනා. ඒ නිසා මම පරිස්සම් වෙනවා” ප්‍රසන්න කීවේය.
” ඒ මොකද්ද” ඇසුවේ සාගර කාරියවසම් මන්ත්‍රීවරයායි.
” වැවකට මාළු පැටව් මුදාහරින වැඩකට ගියාම එතන බෝට්ටු තිබුන නිසා මම කිව්ව ටිකක් වැව මැදට ගිහින් මාළු වැවට දාමු කියලා. ටිකක් වැව පැත්තට යනකොට බෝට්ටුව පෙරලුනා. එදා ඉදල මම පරිස්සම් වෙනවා” ප්‍රසන්න කීවේය.
” සර්, අද බය වෙන්න ඕනේ නැහැ. නාමල් ඇමතිතුමානෙ කතා කරන්නේ. ” සාගර කාරියවසම් මන්ත්‍රීවරයා කීය.
” ඔව් ඔව් ඒක ඇත්ත. ක්‍රීඩා ඇමතිතුමා නේ. බයවෙන්න ඕනේ නෑ” පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය ද කීවාය.
 එතැන සිටි බොහෝ අයගේ පෙරැත්ත කිරීම මත රණතුංග ඇමතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාගේ රථයට ගොඩ වුනේය.
” අපේ සංචාරක ඇමති තුමා මෙය යන ගමන සංචාරක ව්‍යාපාරයටත් හොඳයි.” එතැන සිටි කවුදෝ කියනවා ඇසිනි
” බයවෙන්න එපා ඇමතිතුමා.මම ඉන්නවනේ. ඇමතිතුමාව පරිස්සමට අරන් එනවා.” කියමින් නාමල් රාජපක්ෂ ඇමතිවරයා වැලි පර මතින් රථය ධාවනය කරන්නට විය.
සාරිය ඇඳන් වැලි කඳුවල ගිය කාන්තාව
සාරිය ඇඳන් වැලි කඳුවල ගිය කාන්තාව ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බෙහෙවින්ම කතා බහට ලක් විය. එය වූයේ මෙසේයි. පලමු වර නාමල් රාජපක්ෂ ඇමතිවරයා ගිය මාර්ගය වෙනුවට වෙනත් මාර්ගයක් ඔහු මෙවර තෝරාගෙන තිබිණි. ඔවුන් පිටිපස්සෙන් සාගර කාරියවසම් මන්ත්‍රීවරයාද තවත් වාහනය නැගී ආවේය. එතැන සිටි කිසිදු කාන්තාවක් මෙම වාහන ධාවනයට ඉදිරිපත් නොවීම නිසා ක්‍රේට් ඇඩ්වෙන්චර්ස්  ආයතනයේ අධ්‍යක්ශිකාවක ලෙස කටයුතු කරන හිටපු ක්‍රීඩා උපදේශිකාවක වන පද්මලතා අබේසිංහ   මහත්මිය එම අවස්ථාව ලබාගත්තාය. ඇයද නාමල් ඇමතිවරයා හා අනෙකුත් අය සමඟ වැලි පර මතින් වාහනය ධාවනය කළ ආකාරය සැමගේ සිත් ගත්තේය.
” ඇමතිතුමා, ඉස්සෙල්ලා ගියපාර ට වඩා මේ පාර බාධක වැඩියි” නාමල් ප්‍රසන්නට  කීවේ අතරමග පිහිටි වලක් මතින් වාහනය ධාවනය කරන අතරේයි.
” එහෙමද. මම ආවේ නාමල් ඇමතිතුමා හින්දමයි”
” අයියා බය නැතුව අල්ලා ගන්නකෝ ” කී නාමල් රාජපක්ෂ ඇමැතිවරයා වැලි පර බාධක මතින් ප්‍රවේශමට රථය ධාවනය කළේය.
කිලෝමීටර් දෙකක පමණ ධාවන පථය වටා ගිය නාමල් ඇමතිවරයා ආරාධිත අමුත්තන් සිටි ස්ථානයේ වාහනය නතර කරන විට එහි සිටි සියලු දෙනා අත්පොලසන් දුන්නේ ය. පත්මා යනු ජාතික රුපවාහිනියේ WILD ASIA වැඩසටහනේ නිෂ්පාදිකාව ද වන අතර ඇය දිරිය කාන්තාවක් මෙන් සිදු කල සේවාවන් රැසක් ඇත. නොදන්නා බොහෝ දෙනෙක් සාරියක් හැඳගෙන මෙලෙස ධාවනයේ යෙදීම ගැන බොහෝ කතා පැවසුවත් කාන්තාවකට සාරියක් භාධාවක් ද යන කරණය ද විවේචනයට ලක් වුයේ ඇයගේ ක්‍රියාව සමහරු පැසසුමට ද ලක් කරමිනි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙළ යටතේ සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා මෙවැනි ත්‍රාස්‍යජනක ක්‍රීඩා ඇතුළත් සංචාරක ස්ථාන (adventure tourism) කිහිපයක් ඉදි කෙරෙන බව සදහන්ව තිබේ.
” ටුවරිසම් වලින් ගොඩ එන මේ වෙලාවේ මේක හොඳ ආයෝජනයක්” වාහනයෙන් බසින අතරේ නාමල් පැවැසීය.
“මේක මරු. සංචාරක ව්‍යාපාරයට  ඕන කරන්නේ මේ වගේ දේවල් තමයි. මිනිස්සු වෙනසක් හොයාගෙන එනකොට මේ වගේ දේවල් තියෙන්න ඕනේ.” කී ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ”  හැබැයි තව ටිකකින් අපි වාහනයේ ගිය සිද්ධිය තමයි සමාජ මාධ්‍ය වල ලොකුම සිද්ධිය වෙන්නේ” යැයි කිවේය.
” එහෙම උනාට නම් කමක් නැහැ. මේකේ හොඳ පැත්ත කතා කරනවා වෙනුවට නැති නරකත් හදලා කියයිද දන්නෑ” නාමල් ඇමැතිවරයා කීවේය.
” ඒකනම් ඇත්ත. සමහරු  හැම දේකම වැරදි පැත්තකමයි දකින්නේ.” ප්‍රසන්න රණතුංග කීවේය.
” රටේ මේ තරම් ප්‍රශ්න තියෙන කොට මේගොල්ලෝ බයික් පැදලා විනෝද වෙනවා කියයි. ටික දෙනෙක් ඔය වගේ කතා හදලා ප්‍රමෝට් කරනවා. ඒ අය දන්නවා මේ වගේ අලුත් දේවල් රටට ඕනේ. රටේ ආදායම් වැඩි වෙන්නේ එතකොටයි කියලා. ඒවා දැන දැනත් නෙගටිව් අදහස් ජනතාව අතරට  යවන්නේ හිතාමතාමයි. ” සාගර කාරියවසම් මන්ත්‍රීවරයාද පිළිතුරු දුන්නේය. ” මේක පෞද්ගලික ආයෝජනයක් . ආණ්ඩුව මේකට මුදල් යොදවලා නැහැ. ආණ්ඩුව මේ වෙලාවේ මුදල් වියදම් කරන්නේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන එකට. ඒ ඇත්ත ජනතාවට කියන්න ඕන. විවෘත කිරීමේ අවස්ථාවට ඇවිත් අපි ආයෝජකයා දිරිමත් කරන එකයි කරන්නේ” ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කියනවාත් සමගම  නාමල් රාජපක්ෂ ඇමතිවරයා සිනහමුසුව ” අයියා බයේ නේද ගියේ” යි ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගෙන් ඇසීය.
”  පටන් ගත්තෙ බයෙන්. පස්සේ බය නැති වුණා” ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ද සිනහමුසුව ඊට පිළිතුරු දුන්නේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන පක්ෂ සංවත්සරය එළඹෙන නොවැම්බර් දෙවැනිදාට යෙදී තිබේ. ඒ වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය තුළ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයෙක් පසුගිය ඉරිදා මිනුවන්ගොඩ කාර්යාලයට රැස්විය.මේ අවස්ථාවට, මිලාන් ජයතිලක, සහන් ප්‍රදීප් , කෝකිලා හර්ෂණී ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වූහ.
” සෞඛ්‍යය උපදේශ අනුව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සම්මේලනය සූදානම් කරනවා. දෙරණ  නාළිකාවෙන් සංවත්සරය ලයිව් පෙන්වන්නත් සූදානම් කරනවා. මේ ගැන අපේ පාක්ෂිකයන් දැනුවත් කරන්න. සමහරු මොන සෞඛ්‍ය ප්‍රශ්න තිබුණත් සංවත්සරයට එන්න ලැහැස්තියි. ඒ වුණාට මේ පාර  වෙනදා වගේ ජනතාව සහභාගි කරවන්න පුළුවන් කමක් නැහැ. ”  ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා එහි පැමිණ සිටියේ මහජන නියෝජිතයින් සමඟ පැවසීය.
”  පක්ෂයේ මාධ්‍ය ඒකකය මන්ත්‍රීවරුන්ගේ  පේජ් වලින්  සම්මේලනය live පෙන්නන්නත් සූදානම්. “
” ඔව්. මීඩියා එකේ නයන අපේ කට්ටියට කතා කරලා ඒ ගැන දැනුවත් කරලා තියෙනවා. ” සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා ද කීවේය.
” පක්ෂ සංවත්සරය ලයිව් බලන්න කියලා අපේ ජනතාවට පණිවිඩය දෙන්න ඕන” කෝකිලා හර්ෂනී හර්ෂණී මන්ත්‍රීවරිය පැවැසුවාය.
” ඊට අමතරව හැම ටවුන් එකක්ම සරසන්න. ගම් මට්ටමින් දැනුවත් කිරීම් කරන්න” ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මන්ත්‍රීවරයා තවතවත් උපදෙස් දුන්නේය.
ගමෙන් පටන් ගන්න මැතිවරණ සටන
මේ කතාබහින් පසුව වත්මන් දේශපාලන කරුණු ද සාකච්ඡාවට ගැනිනි.
” දැන් ජනතා විමුක්ති පෙරමුණ  ගමෙන් පටන් ගන්නවලු නෙ” මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා කීවේය.
” ඒක නම් මමත් දැක්කා. කෙලින්ම බැසිල් ඇමතිතුමා ව කොපි කරන එකයි කරන්නේ. බැසිල් ඇමතිතුමා අපේ පක්ෂය හැදුවේ ගම එක්ක සාකච්ඡා කරලා. ගම සමග පිළිසදරක් කරලා. අපි අය වැය වුණත් හදන්නේ ගමත් එක්ක කතා කරලා. ඒ අය වචන වෙනස් කරලා ඒකම කරන්නයි මේ ලෑස්ති වෙන්නෙ. ඒ අය තේරුම් අරගෙන තියෙනවා බත්තරමුල්ල කාර්යාලයේ ඉඳගෙන මිනිස්සුන්ව උද්ඝෝෂණවලට පොලබවලා විතරක්  ආණ්ඩු පෙරළන්න බෑ කියන එක.”  ප්‍රසන්න රණතුංග ඇමතිවරයා සඳහන් කළේය.
” ඔව් ඒ අයට ගමෙන් පටන් ගන්න ඕනේ කියලා දැනුයි මතක් වෙලා තියෙන්නෙ. ඒ වුණාට අපි නම් හැමදාම හිටියේ ගමත් එක්ක. ” කෝකිලා හර්ෂනී කීවාය.
” ඒ අයට මෙච්චර කල් ගමට එන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. ගමට ඇවිත් ගමේ මිනිස්සුන්ගෙන් අයිඩින්ටි අරන් ගියා,තරුණ තරුණියෝ ටික අරන් ගිහින් හන්දි හන්දි ගානේ මරලා දැම්මා, ගමේ මිනිස්සුන්ගෙ බඩු තිබුණු සමුපකාර කඩල ඒ බඩු අරන් ගියා, දනට උඩින් මිනියක් උස්සන්ඩ දුන්නේ නැහැ,. ඒ කාලේ මතකේ තියන පරම්පරාව නැති වෙලා යනකල් ඒ අයටත් ගමට එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඇත්තම කතාව ඒක. දැන් ඒ මතකය තියන අය බොහොම පොඩි ප්‍රමානයයි ජීවතුන් අතර ඉන්නේ. අද තරුණ අය ජේවීපී කියන අයගේ ඇත්ත මුහුණුවර දන්නෙ නැහැ. අපිටත් අපේ වැඩිහිටියෝ තමයි මේ ඇත්ත කියල දීලා තියෙන්නේ.” සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා කීවේය.
” ලෝක වසංගතයක් තියෙන වෙලාවක අයිතිවාසිකම් දිනාගන්න මිනිස්සු මෙහෙයවන්නෙ ආණ්ඩුවකට ඉල්ලීම් දෙන්න බැහැ කියන එක දන්න නිසයි. ඒ වුණත් මේ හැම ප්‍රශ්නයක්ම තව ටික කාලයකින් විසඳෙනවා. ගොවීන්ගේ ප්‍රශ්න , ගුරුවරුන්ගෙ ප්‍රශ්න, සේවකයින්ගේ ප්‍රශ්න හැම දේකටම විසඳුම් දෙනවා කියලා සෞභාග්‍ය දැක්මෙන් පොරොන්දු වෙලා තියෙනවා. වසංගතය ආවෙ නැත්නම් මේ වෙනකොටත් සෑහෙන ප්‍රශ්න ප්‍රමාණයක් විසඳිලා. පංච මහා බලවේගය කියන වචනෙ අයිතිය  වෙන තැනක තිබුනට පංච මහා බලවේගය ඉන්නේ බැසිල් ඇමතිතුමා එක්ක” ප්‍රසන්න රණතුංග ඇමතිවරයා නැවතත් කීවේය.
” ජේවීපී එක ලකුණු වෙනස් කරනවා, පාට වෙනස් කරනවා,වචන වෙනස් කරනවා. කණ්නාඩි වෙනස් කර කර  මිනිස්සු ඉස්සරහට ආවට   ඇත්ත රූපේ හංගන්න බැහැ” කෝකිලා හර්ෂණී ගුණවර්ධන පැවසුවාය.
මේ අතර පක්ෂ නායකයින්ගේ රැස්වීම ජනාධිපති වරයාගේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 28 දා අරලියගහ මන්දිරයේ පැවැත්විණි. එහිදී පක්ෂ නායක රැස්වීම් පිළිබඳව කතා බහක් ඇති විය.
”   පාර්ලිමේන්තුවේ තැන් තැන් වලයි පක්ෂ නායකයෝ රැස්වෙනවා. ඒ උනාට අපිට කැඳවීමක් නෑ . අපි මේ පක්ෂය හදපු මිනිස්සු . එදා අපි විසි පස් දෙනෙක් එළියට බැහැලා තමයි මේ පක්ෂ හැදුවෙ. පක්ෂයක් විදිහට අපිටත් ගරුත්වයක් තියෙනවා. ඒ නිසා ඒ ගරුත්වය පොදුජවන පෙරමුණේ අපිටත් දෙන්න. ” ප්‍රසන්න රණතුංග ඇමතිවරයා එහිදී  තරමක් ආවේගශීලිව සඳහන් කළේය.
” ඔබතුමා හරි. අපි  අමාරුවෙන් හදපු ආණ්ඩුව රැකගන්න ඕනෙ. ඒකට තියෙන ප්‍රශ්න කතා කරලා විසඳ ගන්න ඕනේ” උදය ගම්මන්පිල ඇමතිවරයා ඊට පිළිතුරු දෙමින් පැවසීය.
එහිදී යුගදනවි බලාගාරය සහ එක නීතියක් එක රටක් සඳහා ජනාධිපතිවරයා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව සම්බන්ධයෙනුත් දීර්ඝ  වශයෙන් සාකච්ඡාවට ලක් විය.
එම කොමිසම සඳහා  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීම පිළිබඳව ඇතැමුන්  එතරම් සතුටට පත් නොවන බව පෙනිනි.
” එක රටක් එක නීතියක් ගැන වැඩිපුරම කථා කරන්නේ ඥානසාර හාමුදුරුවෝ  ඒ නිසා ඥානසාර හාමුදුරුවෝ මේ කොමිසමට වඩාත්ම සුදුසු පුද්ගලයා විදිහටයි මම දකින්නේ.” ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සඳහන් කළේය.
”  දඟම ළමයා ශිෂ්‍ය නායකයා කරනවා වගේ වැඩක්” ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කියනවත් සමඟ පක්ෂ නායකයින්  එය අනුමත කරන්නා සේ සිනහා සුනේය.
” ජනාධිපතිතුමා කොමිෂන් පත් කරන්නේ විෂයානුබද්ධ කරුණු ගැන අවබෝධයක් ලබාගන්න.” මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද ඊට පිළිතුරු දුන්නේය. සවස පහට පමණ ඇරඹි පක්ෂ නායකයින්ගේ රැස්වීම අවසන් වන විට රාත්‍රී 9:30 ව තිබිණි.
කාබනික වගාව ගැන දිගින් දිගටම ජනාධිපතිවරයා අවධාරණය කරමින් සිටින්නේය. තමාට අවශ්‍ය ඡන්දය නොව ජනතාවට නිවැරදි දේ කිරීමට බවද ජනාධිපතිවරයා උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්යස්ථානය හා කාබනික වගාබිම නිරීක්ෂණයට එක්වෙමින් පැවසුවේය.
කිසිදු ඡන්දය ගැන සිතන කිසිදු දේශපාලකයෙකු මෙම තීන්දුව ගැනීමට බිය බව ද තමා ජනතාව වෙනුවෙන් හොඳ දේ කිරීමට මිස ඡන්දය වෙනුවෙන් තීන්දු තීරණ නොගන්නා බව ද අවධාරණය කළේය. කිසිදු ඡන්දය ගැන සිතන කිසිදු දේශපාලකයෙකු මෙම තීන්දුව ගැනීමට බිය බව ද තමා ජනතාව වෙනුවෙන් හොඳ දේ කිරීමට මිස ඡන්දය වෙනුවෙන් තීන්දු තීරණ නොගන්නා බව ද  “මම ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට. ඒ තැබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ, ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගන්න, මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න එපා. අනාගත පරපුර වෙනුවෙන් පෙළ ගැහෙන්න” යනුවෙන් ද ජනපති පැවසුවේය.
සමඟියේ අසමඟිය ගැන එළිපිට කතා
සජිත් පිලේ අර්බුද, මන්ත්‍රී හේෂා එළියට දමමින් සිටින්නේය. පසුගිය සතියේදී සමගි ජන බලවේගයේ ප්‍රසිද්ධම කතාව වුයේ හේෂා සහ චමින්ද ස්මනගියෙන් වෙන් වී පොහොට්ටුවට එකතු වෙන බවය. කෙසේවෙතත් ඔවුන් මාධ්‍ය සාකච්චාවක් තබමින් එය එසේ නොවන බව පැවසුවේය. නමුත් සමඟිය තුල ඇති අසමඟිය ගැන ඔවුන් ප්‍රසිද්ධියේ විවේචනය කරමින් සිටිති. ඒ අනිවා සිය පසුපෙළ මන්ති්‍රීවරුන් පක්ෂයට ඉදිරිපත් කරන යෝජනා පිළිබඳ අවධානය යොමු නොකරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසුවේය. “කැපිල්ලක් නැහැ පක්ෂයේ. නමුත් අපේ දේශපාලනය නැවුම් වෙන්න ඕන කියන කාරණය පෙන්වා දුන්නම ඒවාට කැමැත්තක් ආවේ නැහැ. ඒ නිසා අපේ යෝජනා ඉටුවන තෙක් තාවකාලිකව තනතුරු වලින් ඉවත් වීමක් වුණේ. අපේ අදහස් මඟ හරිනවා නම් තනතුරු වල හිදිම ඉන්න වැඩක් නැහැ. නමුත් දැන් සම්ප්‍රදායික අදහස් දක්වන අය වෙනස් විය යුතු බව තේරුම් අරන් තියෙනවා…
එජාපය සාමාජික ගොඩ වැඩි කර ගැනීමේ සටහනක
එජාපය ද සිය පක්ෂය තහවුරු කර ගැනීම උදෙසා සාමාජිකයන්එ වැඩි කර ගැනීමේ සටනේ සිටිති. ක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩසටහන පිළිබඳව කරණ්දෙනිය සහ අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශවල ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ රැස්වීම් එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා දිනය පුරාවට එම මැතිවරණ කොට්ඨාශවලදී පැවැත්විණි. කරණ්දෙනිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක නීතීඥ නුවන් සොමිරත්න, අමබ්ලන්ගොඩ සංවිධායක ජනිත් වික්‍රමතිලක යන මහත්වරු සංවිධානය කළ මෙම රැස්වීම්වලට පක්ෂ ක්‍රියාකාරීන් මෙන්ම එම ප්‍රදේශවල ගුරුවරු හා වෘත්තීයවේදීන්ද සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
කරණ්දෙනිය රැස්වීමේදී ප්‍රතිසංවිධාන වැඩසටහනට අදාළ පත්‍රිකා බෙදා දී ඒ පිළිබඳව දැනුවත් කිරීමේ කටයුතු සිදුකරගෙන යන අතරතුර 2015 දී එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ලබාගත් ආකාරය හා ඉන් පසුව රටේ ගුරුවරු මෙන්ම රාජ්‍ය සේවකයින් වෙනුවෙන් එම ආණ්ඩුව සිදුකළ මෙහෙවර පිළිබඳව වජිර අබේවර්ධන මහතා සිය හඬ අවදි කළේ වෘත්තීයවේදීන් ඒ සම්බන්ධව නැගුව පැනයකට පිළිතුරු දෙමිණි.
2015 ට පෙර රට දැවැන්ත ආර්ථික අර්බුධයකට තල්ලුවීම හේතුවෙන් එවකට සිටි පාලකයින් තම පාලන කාලය වසර දෙකක් ඉතිරිව තිබියදී මැතිවරණයක් කැඳවූ ආකාරය හා ඒ මැතිවරණය ජයගෙන රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්වී පැය 48 ක් ගතවීමට පෙර ජනතාවට සහන ලබාදුන් ආකාරය මෙහිදී වජිර සිහිපත්කළේ නැවත එක්සත් ජාතික පක්ෂය කඩා වැටුණු මේ රට ගොඩගන්නා බවට සහතික වෙමිණි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩකටයුතු සැලසුම් කරගැනීමේ විශේෂ සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතදී පැවැත්වුණි. මෙම රැස්වීමට රුවන්, වජිර, රංගේ, අකිල, සාගල, ශමල් ඇතුලු පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් එක්ව සිටි අතර පක්ෂයේ සංවිධාන ජාලය පුළුල් කිරීම සහ වත්මන් ආණ්ඩුව ජනතාව පීඩාවට පත්කරමින් ගෙනයන පාලනයට එරෙහිව ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම ඇතුළු කරුණු කාරණා ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේය.
පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩසටහන මෙන්ම සාමාජික ප්‍රවර්ධන වැඩපිළිවෙලේ ප්‍රගතිය විමසා බැලූ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම වැඩකටයුතු බාරගත් ආකාරයට සාර්ථකව දියත් කිරීම පිළිබඳව සියලු දෙනාට සිය ස්තූතිය පළ කර සිටියේය.
වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා මේ වනවිට ආහාර ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් භාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටීම හා ගුරුවරු සහ ගොවි ජනතාව ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස්ද විවිධ ගැටළුවලට මුහුණ පා සිටින බැවින් ඒ අය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය මෙතෙක් නැගුව හඬ මීටත් වඩා පුළුල්ව සිදුකළ යුතු ආකාරය ගැන මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.
ඒ අනුව ඉදිරියේදී පවතින සෞඛ්‍ය නීතීරීතීවලට අනුගත වෙමින් ජනතාව සමග එක්ව ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව රටපුරා උද්ඝෝෂණ හා විරෝධතා සංවිධානය කිරීමටද එම සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කරන ලදි.