විගමනික සම්පත් මධ්‍යස්ථානයක් වැඩිදියුණු කිරීමට නවසීලන්තයේ රජයෙන් අත හිත

0

ශ්‍රී ලංකාවේ පළමු නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් (Michael Appleton) මහතා, නියෝජ්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ ට්‍රැවලර් (Andrew Traveller) සහ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා අතර හමුවක් පසුගියදා නාරාහේන්පිට අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

මෙතෙක් ශ්‍රී ලංකාවේ නවසීලන්ත තානාපති කාර්යාලයක් නොතිබූ අතර මෙම වසරේ අගෝස්තු මස 10 දින නව මහකොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලදී. ඒ සදහා පත්වූ ප්‍රථම නවසීලන්ත මහ කොමසාරිස්වරයා වන මයිකල් ඇපල්ටන් (Michael Appleton) මහතා හට රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා කළ ආරාධනයක් අනුව මෙම හමුව සිදුවිය.

 නවසීලන්තයේ සංක්‍රමණික ප්‍රතිපත්ති සංවර්ධන ජාත්‍යන්තර ආයතනයේ (International Center for Migration Policy Development – ICMPD) පූර්ණ මූල්‍ය අනුග්‍රහයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතු තෝරාගත් විගමනික සම්පත් මධ්‍යස්ථානයක් අංග සම්පුර්ණ අයුරින් වැඩි දියුණු කිරීම සදහා මේ වන විටත් එම ආයතනය එකගවී ඇත. එම  එකගතාවය අනුව ඒ පිලිබදව සියළු පූර්ව සැලසුම් මේ වන විටත් සම්පාදනය කර ඇති අතර, විදේශ රැකියා ක්ෂේත්‍රයේ අභිවෘධිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට මෙවැනි වටිනා පරිත්‍යාගයක් ලබාදීමට තීරණය කිරීම පිලිබදව රාජ්‍ය අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයාටත් නවසීලන්ත රජයටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය විශේෂ ස්තූතිය මෙම අවස්ථාවේදී පිරිනමන ලදී.

මෙතෙක් ශ්‍රී ලාංකිකයන් හට නවසීලන්ත තානාපති කාර්යාලයේ සේවාවන් ලබාගැනීම සදහා ඉන්දියාවේ පිහිටි නවසීලන්ත තානාපති කාර්යාලය සමග සම්බන්ධ වීමට සිදුවූ අතර, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහා කොමසාරිස් කාර්යාලයක් පිහිටුවීමෙන් පසු ශ්‍රී ලාංකිකයන්ට එම සේවාවන් ඉතා පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසාදීම පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා මහා කොමසාරිස්වරයා හට සිය විශේෂ ස්තූතිය පළකරන ලදී.

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් හට නවසීලන්තයේ වෘත්තීය ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාදෙන ලෙස අමාත්‍යවරයා මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි අතර, මේ දිනවල පවතින වසංගත තත්ත්වය පහව ගොස් නවසීලන්ත රාජ්‍යය සාමාන්‍ය තත්ත්වයට පත්වූ පසු එරට කෘෂිකර්ම හා පශු සම්පත් යන ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ලබාදීම පිළිබඳවත් වෘත්තීය ක්ෂේත්‍රයේ රැකියාවන් සඳහා අවශ්‍ය පූර්ව පුහුණුව ලබාගත හැකිවන පරිදි පුහුණු අභ්‍යාසලාභීන් ලෙස සේවය කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳවත් විශේෂයෙන් සලකා බලන බවට මහකොමසාරිස්වරයා එකඟතාවය පළකරන ලදී.

නව මහකොමසාරිස් කාර්යාලය පිහිටුවීමෙන් පසුව දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කරගැනීම සදහා වූ විශේෂ කරුණු ගණනාවක් පිලිබදව මෙහිදී සාකච්ඡා කළ අතර මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සුන්දරම් අරුමෛනායගම්, අතිරේක ලේකම් ප්‍රදීප් හපුතන්ත්‍රී, අතිරේක ලේකම් යමුනා පෙරේරා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සභාපති මේජර් ජනරාල් විශ්‍රාමික මහින්ද හතුරුසිංහ, සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හේමන්ත විජේරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.