අන්තවාදය එරෙහිව ලංකාවට ඕස්ට්‍රේලියා සහාය

0
ලංකාවේ ඕස්ට්‍රේලියානු වැඩබලන මහ කොමසාරිස්, අතිගරු ඇමැන්ඩා ජෙවෙල් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හමුවූහ.
කලාපීය ආරක්‍ෂාව ශක්තිමත්ව ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා අන්තර් රාජ්‍ය සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වු ප්‍රවේශයන් ඇතුළු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව ශ්‍රී ලංකාවේ  ආරක්‍ෂක ලේකම් වැඩබලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරිය සමඟ සාකච්ඡා කරන ලදී.
සාම්ප්‍රදායික නොවන ආරක්‍ෂක තර්ජන මැඩපැවැත්වීම සහ අන්තවාදය තුරන් කිරීම සඳහා වන සාමූහික ප්‍රයත්නයේ වැදගත්කම පිළිබඳවද මෙම හමුවේදි සාකච්ඡා වූ අතර ඒ සඳහා කලාපීය හා කලාපීය නොවන සෑම රටකටම ශ්‍රී  ලංකාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ජෙනරල් ගුණරත්න පැවසිය.
ඔහු තවදුරටත් තහවුරු කළේ, මධ්‍යස්ථ රාජ්‍යයක් වශයෙන් ශ්‍රි ලංකාව කලාපයේ යහපත උදෙසා නිහඩ කාර්යභාරයක් ඉටු කරන අප රටේ, උපායමාර්ගික පිහිටීම උපයෝගී කරගනිමින් නීති විරෝධී ක්‍රියාවන්හි නිරතවිමට සඳහා ශ්‍රී ලංකා භූමිය භාවිතා කිරීමට ඉඩ නොතබන බවයි.
රටේ නාවික හමුදාව සහ අනෙකුත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල දායකත්වයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ගත් සියලු උත්සාහයන් ඕස්ට්‍රේලියානු නියෝජිතවරියගේ පැසසුමට ලක් විය.
එවැනි උත්සාහයන් තුලින් කලාපීය වශයෙන් ලැබෙන ජයග්‍රහණය පිළිබඳවද ජෙනරල් ගුණරත්න මෙම සැසියේදී තවදුරටත් අවධාරණය කරන ලදි.
අන්තවාදය මුලිනුපුටා දැමීම සඳහා ආරම්භ කළ ක්‍රියාමාර්ග සහ මිනිස් ජාවාරම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් ගන්නා ලද උත්සාහයන් ද පැමිණ සිටි ඉහළ පෙලේ  නිලධාරීන්ගේ පැසසුමට ලක් විය.  පවත්නා ආරක්‍ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බවට මෙහිදී දෙපාර්ශවයම සහතික විය. මෙම ඵලදායී සාකච්ඡාවට ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකා නිලධාරී/පළමු ලේකම් බ්‍රෙට් සෙන්ඩර් ද සහභාගී විය.
කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වූ සෞඛ්‍ය ආරක්‍ෂක මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම හමුව පැවැත්විණි.