Political fact / දේශපාලන කතාබහ

0
By: අශන්ති වරුනසුරිය
ඉකුත් සඳුදා හවස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඇමතුමක් ලැබිනි.
” ප්‍රසන්න “
” ඔව් ජනාධිපතිතුමා “
” කටුනායක ගුවන් තොටුපොලේදී ලංකාවට පැමිණෙන සංචාරකයින් හා ශ්‍රී ලාංකිකයන්  අපහසුතාවයට පත්වීම වළක්වන විදියේ ක්‍රමයක් හදන්න ඕනේ”
” මම කොහොමත් හෙට කටුනායකට යන්න දාගෙන තියෙන්නෙ. හෙටම ඒ ගැනත් බලන්නං ජනාධිපතිතුමා” යි ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පිළිතුරු දුන්නේය.
මෙරටට පැමිණෙන සංචාරකයින් වැඩි කාලයක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ රඳවා තබා ගැනීම වළක්වමින්  කඩිනම් පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීමේ අරමුණෙන් නවීන තාක්ෂණයෙන් යුත් පර්යේෂණාගාරයක් කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රය ආසන්නයේ ඉදි කෙරුනේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මඟ පෙන්වීම අනුවයි. පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ පී.සී.ආර්  පරීක්ෂණ වාර්තාවක් නිකුත් කළ හැකි මෙවැනි නවීනතම පර්යේෂණාගාරයක්  ආසියානු රටක ගුවන්තොටුපල පරිශ්‍රයක් තුල ඉදි කෙරුණේ පළමු වතාවටයි. මෙම පරීක්ෂණාගාරය නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍යවරයා පසුගිය අඟහරුවාදා ගුවන්තොටුපල පරිශ්‍රයට පැමිණියේය.
ඉදිරි කාලය තුළ මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කළ හැකි හෙයින් එක ඉක්මනින් මෙන්න පර්යේෂණාගාරය කටයුතු ආරම්භ කළ යුතුව ඇතැයි එහි දී  අමාත්‍යවරයා සඳහන් කළේය.
” දැන් සංචාරකයෝ ලංකාවට එන්න පටන් අරන් තියෙන්නේ. මේ වෙනකොටත් දවසකට  තුන් හාරසියයක්  සංචාරකයෝ පැමිණෙනවා. ඉස්සරහට දෛනික සංචාරක පැමිණීම 1500- 2000ත් අතර ප්‍රමාණයකට වර්ධනය වෙන්න පුළුවන්.දැන් යුරෝපීය රටවල ශීත සෘතුව පටන් ගන්නවා. ඒ නිසා මේක තවත් කල් දාන්න එපා” අමාත්‍යවරයා ගුවන්තොටුපල සභාපතිවරයාට කීය.
ඒ අනුව  එළැඹෙන විසි වෙනිදා නව පර්යේෂණාගාරය කටයුතු ආරම්භ කිරීමට තීරණය විය.
පරීක්ෂණාගාරයේ නිරීක්ෂණ කටයුතු අවසන් කල අමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපොලට  පැමිණියේ  පෙරදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කී පණිවිඩයක අනුවයි. ඒ වන විටත් රේගු අධ්‍යක්ෂකවරයා, ආගමන විගමන පාලකවරයා, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් එතැනට පැමිණ සිටියහ.
 ” ඊයේ ජනාධිපතිතුමා මට කතා කළා. අපේ ගුවන්තොටුපල දැන් විවෘත කරලා.කටුනායක ගුවන් තොටුපොළ හරහා ලංකාවට පැමිණෙන සංචාරකයින් ශ්‍රී ලාංකිකයින්ට බාධාවකින් තොරව පැමිණීමේ ක්‍රමවේදයක් සකසන්නයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. මෙරටට පැමිණෙන සංචාරකයින්ට හෝ ශ්‍රී ලාංකිකයින්ට බාධාවක් වෙන විදියේ යමක් සිදුවෙනවා නම් ඒ දේවල් නතර වෙන්න ඕනේ. ”  උපදෙස් දුන් අමාත්‍යවරයා ගුවන් තොටුපොළ පරිශ්‍රයද නිරීක්ෂණය කළේය.
ගුවන් යානයකින් බැස ඩියුටි ෆ්‍රී ෂොප් බරහා පැමිණෙන ගුවන් මගීන්ට පළමුව හමු වන්නේ ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය තොරතුරු මධ්‍යස්ථානය හා විදේශ මුදල් හුවමාරු කර ගැනීම සඳහා ඇති බැංකු කිහිපයයි.   සංචාරක සංවර්ධන අධිකාරියේ තොරතුරු ආයතනය හැර එම කොටසේ තිබූ කිසිදු  ආයතනයක සේවකයෙක් පී.පී. කිට් ( ආරක්ෂක ඇඟලුම් )ඇඳ සිටියේ නැත. නමුත් සංචාරක අධිකාරියේ තොරතුරු මධ්‍යස්ථානය නිලධාරීන් පී.පී කිට් ඇඟලාගෙන සිටියේය.
මෙය දුටු ඇමතිවරයා ” පීපී කිට් ඇඳලා ෆ්ලයිට් වල යන්න එපා කියන්නෙ, ඒ ඇඳුම් වලින් සංචාරකයින් පිළිගන්න එපා කියන්නේ  සංචාරක සංවර්ධන අධිකාරිය සභාපතිතුමියයි.  ඒ උනාට මෙතන ඔයගොල්ලෝ ඇරෙන්න කිසිම කෙනෙක් පීපී කිට් ඇඳලා නැහැ .”  කී ඇමැතිවරයා නැවතත් මේ ” මේ අයගේ ෆොටෝ එකක් අරගෙන මට දාන්න. ඔයා කිව්වට ඔයාගේ අය මෙහෙමයි කරන්නේ කියලා සභාපතිතුමියට යවලා පෙන්නන්න” යි සිනහසෙමින් පැවසීය. ඇමතිවරයාගේ ප්‍රකාශයට එතැන සිටි සියලු දෙනා සිනාසුනි.
Zoom තාක්ෂණය ඔස්සේ ප්‍රාදේශීය සභා, නගර සභා සභාපතිවරු සමග “ගම සමඟ පිළිසදරක් ” වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉකුත් බදාදා පැවැත්විණි. ” අපිට කොවිඩ්  එක්ක ඉස්සරහට යන්න වෙනවා. කොවිඩ් කියලා වැඩ නොකර ඉන්න බැහැ. ඒ නිසා ගමේ ආර්ථිකය නංවන්න, ගම සංවර්ධනය කරන්න ගම සමග පිළිසඳරක් යටතේ ඉදිරිපත් වුනු යෝජනා අපි ක්‍රියාත්මක කරන්න ඕනෑ.”  එහිදී අමාත්‍යවරයා සියලුම පලාත් පාලන ආයතන  ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.