එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා චීන රජය විසින් පරිත්‍යාග කරන ලද වෛද්‍ය උපකරණ චීන තානාපති කාර්යාලයේදී අද දින එජාප සභාපති, වජිර අබේවර්ධන මහතා විසින් බාරගන්නා ලදි.
චීන තානාපති කාර්යාලයේ උපදේශක චෙන් මහතා විසින් වජිර අබේවර්ධන මහතා වෙත මෙම උපකරණ බාරදීම සිදු කළේය.
එම අවස්ථාවේ දී වජිර අබේවර්ධන මහතා චීන තානාපති කාර්යාලයටත්, චීන රජයටත් කොවිඩ් වසංගතය ආරම්භ වූ මොහොතේ සිට ශ්‍රී ලංකාවට දක්වන ලද සහයෝගය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සහ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්තූතිය පල කළේ ය. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ විශේෂ ඉල්ලීම පරිදි ලබාගත් මෙම උපකරණ ඉදිරියේදී රෝහල්වලට ලබාදීමට නියමිතය.
එහිදී මහ බැංකුවට නව අධිපතිවරයෙක් පැමිණීමෙන් රටේ ආර්ථික ප්රශ්නය විසඳෙයිද? යන්නට පිළිතුරු දුන් සභාපතිවරයා,
රටේ ආර්ථිකයට ජාතික සැලැස්මක් සහ ජාත්‍යන්තර ලෝක වෙළඳ පොල පිළිබඳ අවබෝධයකින් ලෝක ආහාර සංවිධානය ගන්නා තීන්දු තීරණ ගැන එකට වැඩකළ යුතුයි. එසේ නොකරන ආණ්ඩුවකින් සිදුවන්නේ ඉදිරි කාල සීමාව තුළදී මහජනතාව තව තවත් පීඩනයට පත් වීමයි. මේ තත්ත්වය එන්න එන්න දිනෙන් දින වර්ධනය වන බව අපට පෙනී යනවා.
ප්‍රධාන හාල් මෝල් හිමියන්ගේ හාල් මෝල්වලට කඩා වැදීමෙන් මේ ප්රශ්නය විසඳන්න බැහැ. හදීසි නීතිය භාවිතා කර මහජනතාවට බොරුවක් මවා පෙන්වීමත් කණගාටුවට කරුණක්. මේ තත්ත්වයේ මහා පරිමාණ හාල් මෝල් හිමියන් බිහි කළේ 1994 පාලනයෙන් පසුවයි.
ඊට ඉහත රජයන් විසින් වී සහ හාල් පාලනය සිදුකළ අතර එය හොඳට සොයා බැලිය හැක්කේ මේ හාල් මෝල් හිමියන්ට ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු වලින් කොපමණ මුදල් ලබා දී තිබේද යන්න සොයා බැලීමෙන්ය. කෙසේ හෝ එවැනි ව්‍යාපාරිකයන් ඇති වීම ශ්‍රී ලංකාවට යහපත්ය. බැංකු විසින් මේ අයට ණය ලබාදීමේදී වසරකට කොපමණ වී තොගයක් ලබා ගන්නවාද? වසරකට කොපමණ ප්‍රමාණයක් සහල් කර මහජනතාවට නිකුත් කරනවද? එයින් කොපමණක් ලාබ ලබනවද? ඒ ලාබය හරහා මේ ණය ගෙවන ආකාරය ශක්‍යතා අධ්‍යන වාර්ථාව හරහා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමයි මෙවැනි හාල් මෝල් හිමියන් ශ්‍රී ලංකාව තුළ බිහි වෙලා තියෙන්නේ. මේ තත්ත්වය තුළ හාල් මෝල්වලට ත්‍රිවිද හමුදාවෙන් පොලීසියෙන් කඩා වැදීමෙන් සිදුවන්නේ එවැනි ව්‍යාපාරිකයන්ගේ මානසික මට්ටම කඩා බිඳ දැමිමයි.
මේ ඉතිහාසය පුරා පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුවලින් සිදු කරන ලද්දක්. 1970 / 1977 දීත් ඇති කළේ වෛරය, ක්‍රෝධයයි. යමක් තිබෙන අයගේ දේවල් උදුරා ගැනීමට කටයුතු කිරීමයි. 1956 පෙරලීම සිදු කළේ මේ රටේ මහා ධනවතුන් විනාශ කිරීමයි. මහා ව්‍යාපාරිකයන් විනාශ කිරීමයි. මහා වතු සමාගම් විනාශ කිරීමයි. අද අපේ රටේ ඒ අයම කෑ ගහනවා ඉන්දියාවේ අදානි එනවා, ලෝකයේ අහවල් රටේ අහවල් ප්‍රභල ව්‍යාපාරිකයා එනවා.
මේ තත්ත්වය ඇති කළේ මේ අයමයි. එය ශ්‍රී ලංකාවේ මහජනතාව තේරුම්ගත යුතුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයන් ශක්තිමත් කරන්න ඔවුන් ඉන්දියාවේ වරායවල් හදන තැනට ගන්න ඕන. ලෝකෙ රටවල්වල වරායවල් හදන තැනට ගන්න ඕන. ඒ නිසා තමයි 1977 න් පසුව විවෘත ආර්ථික ක්‍රමය ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා හඳුන්වලා දුන්නම ඒ හරහා උපාලි විජේවර්ධන වැනි මහා ව්‍යාපාරිකයන්ට මැලේසියාවේ වතු ගන්න පුළුවන් වුණා. ශ්‍රී ලංකාවේ අනාගතයයි අවශ්‍ය කරන්නේ, හාල් මෝල් හිමියන් විනාශ කිරීම නොව. ආසියාව හාල් මෝල් හිමියන් බවට පත් කිරීමයි.
කෙසේ හෝ වැරදි ආර්ථික දර්ශනයක් තිබෙන නිසා රට කඩාගෙන වැටිලා. මහජනයා පීඩනයට පත් වෙලා. අහිංසක මිනිසුන්ට කන්න වේල කන්න විදියක් නැති තත්ත්වයකට පත් වෙලා. ඒ විදියට රට පාලනය කලොත් සිදුවන්නේ දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට හාල් පොලු, මිරිස් පොලු අර පොලු මේ පොලු දමා ගැනීමයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ 600 ගණනක් සීමාකර පාලනය කිරීම තුළ සිදුවන්නේ මහ ජනතාව බරපතල ඛේදවාචකයකට මුහුණදීමයි. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළේ අවම වශයෙන් ජන ජීවිතය ආරක්ෂා කර ගන්න කියලා. අපිට ආර්ථිකය ගොඩදාලාදෙන්න පුලුවන්, හැබැයි අපට නැති වුණ ජීවිත ගොඩදාන්න බැහැ. ඒ නිසා තමයි කිව්වෙ රට සති දෙකක් වහන්න කියලා. රට මාසයක් වහලා හරි ජන ජීවිත බේරලා දුන්නොත් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයත් රට ගොඩදානවා කියලා ප්‍රකාශ කරන්න කැමතියි.
|