කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසංග කමල්සිරි සිය මන්ත්‍රී දීමනාව කෝවිඩ් අරමුදලට පරිත්‍යාග කරයි

0

කෝවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකේය ජනතාවගේ සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය වෙනුවෙන් පිහිටුවා ඇති සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල හෙවත් ඉටුකම අරමුදල වෙත සිය මාසික මන්ත්‍රී දීමනාව පරිත්‍යාග කිරීමට කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසංග කමල්සිරි ද සිල්වා මහතා පියවර ගෙන ඇති අතර කෝවිඩ් අරමුදල වෙත ලබාදීම සදහා එහි පළමු පරිත්‍යාගය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත ලබාදීම අද (13) දින සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.

තමන්ගේ සියලුම මන්ත්‍රී දීමනා කෝවිඩ් 19 මෙරටින් තුරන්වන තුරු ලබාදීමට කටයුතු කරන බව සදහන් කල අසංග කමල්සිරි මහතා දිවයිනේ සියලුම පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සිය මසක මන්ත්‍රී දීමනාව හෝ කෝවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට ඉදිරිපත්වන ලෙස මෙහිදී ඉල්ලීමක් කරන ලදි.

මන්ත්‍රීවරයෙකු ලෙස තමන්ට හිමි මන්ත්‍රී දීමනාව කිසිදු විටෙක තමන්ගේ පුද්ගලික පරිහරණයට මෙතෙක් යොදා නොගත් බව සදහන් කළ කමල්සිරි මහතා, එම ගුරුහරුකම් තමන් විසින් ග්‍රහණය කරගනු ලැබුවේ දිවංගත හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගෙන් බවත් එතුමන් තමන්ගේ දේශපාලන ගුරුවරයා වන බැවින් මේ මොහොතේදී කෘතවේදීව සිහිපත් කරන බවද සදහන් කරන ලදි.

කටාන ප්‍රාදේශීය සභාවේ මුදල් කමිටුවේද සාමාජිකයෙකු වන අසංග කමල්සිරි මහතා, ප්‍රාදේශීය සභාවේ ස්වේච්ඡාවෙන් පිහිටවූ මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුවේ සභාපතිවරයාද වේ. එමෙන්ම කෝවිඩ් අරමුදලට සිය මන්ත්‍රී දීමනාව පරිත්‍යාග කිරීමට ඉදිරිපත්වූ කටාන ප්‍රාදේශීය සභාවේ මුල්ම මන්ත්‍රීවරයා වන්නේද අසංග කමල්සිරි මහතාය.