Political Fact – දේශපලන කතාබස්

0
2022 අයවැය සඳහා සූදානම් වන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඊට අදාළ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ තොරතුරු සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප‍්‍රධානීන්ගේ හමුවක් කැඳවනු ලැබීය. සිකුරාදා උදේ මුදල් අමාත්‍යාංශයේ දී එම හමුව පැවැත්විණි. එහිදී කතාබස් කරමින් සිටින අතරවාරයේ බැසිල් හරි අපූරු කතාවක් කීවේ ජනාධිපතිතුමා පසුගිය දිනක මුහුණ පෑ සිදුවීමක් ගැන පවසා ඇත.
”ජනාධිපතිතුමා කොහේදෝ ගමනක් ගිහින් එනවා. එනකොට කලර් ලයිට් තියන හතරමං හන්දියක එකපැත්තක පාර වහලා. අනිත් පැත්තට විතරක් පාර ඇරලා… මේ වගේ දේවල් දැක්කහම එතුමට කේන්ති යනවා…’
ඇයි මේ විදිහට මට යන්න පාරවල්වල පැත්තක් වහන්නේ කියලා ජනාධිපතිතුමා ආරක්ෂක නිලධාරීන්ට හොඳටම බැන්නාලූ?..” ඒත් පාර වහන්න කියලා නිලධාරීන් කියලා නෑ. නමුත් නිලධාරීන් බැණුම් අහගෙනම ගිහිල්ලා වෙලා තිබුණෙ මොකක්ද කියලා හොයාගෙන ජනාධිපතිතුමාට කියලා.
බැලින්නම් ජනාධිපතිතුමා එන්න මොහොතකට කලින් එතනින් අපේ ඇමැති කෙනෙක් ගිහින්. එක දිගට වාහන අටයිලූ. ඒකට තමයි පාර වස්සවලා තියෙන්නෙ…”
”ඇත්තටම එහෙම උනාම මිනිස්සු බණින්නේ ජනාධිපතිතුමාට… කවුද ඉතින් ඒ ගිය ඇමැති…”
”ඔන්න මම නං නෙමෙයි…” බැසිල් කීවේය.
”ඔන්න මමත් නෙවෙයි…” ඩලසුත් කීවේය. සියල්ලෝම හඬනගා සිනාසෙන්නට පටන් ගත්හ.
පසුගියදා පවතී මතිඅමති හමුවේදී ජනාධිපතිවරයා කොවිඩ් ගැන ජනතාවට බය කරන්න එපා යැයි පවසා තිබිණි. “සෞඛ්‍ය බලධාරීන්, සෞඛ්‍ය අංශවල උගත් වෛද්‍යවරු කරන්න ඕන තියෙන ප‍්‍රශ්න ටික ගිහිල්ලා ජනතාව ඉස්සරහ කියවන එක නෙවෙයි. ආණ්ඩුව කරන්න ඕන දේවල් ඒගොල්ල ජනතාවට ගිහින් කියලා වැඩක් නෑනේ. එහෙම අදහස් තියනවා නං ඒව මට ඇවිල්ල කියන්න ඕන. මම ඕනම වෙලාවක ඒ උපදෙස් අහන්න කැමතියි. රජයට කියන්න ඕන ටික ගිහිල්ලා මේවා වෙන්නේ නෑ කියලා මිනිස්සුන්ට කියනකොට මිනිස්සු නිකම්ම බය වෙනවා. රට වහන්නෙයි කියන එක වුණත් මේ වගේ කමිටුවකට ඇවිල්ල කියන්නැතුව ජනතාව ඉස්සරහට චැනල් එකකින් ගිහිල්ලා කියනකොට මිනිස්සු නිකංම කලබල වෙනවා. වැඩක් තියනවද… මිනිස්සුන්ට පුළුවන්ද රට වහන්න. රට වහන්න පුළුවන් රජයට විතරයි…” ජනාධිපතිවරයා දැඩි ලෙස කියා ඇත.
එවිට ‘‘මිනිස්සු බය කරන්න හොඳ නෑ. මම ඒ සියලූ චැනල් එක්ක කතාබහ කරා. මම ඉල්ලූවා අපට හොඳම ටයිම් එකේ තප්පර 45 ක වෙලාවක් දෙන්න හැම නාලිකාවක්ම මිනිස්සු මෝටිවේට් කරන්න. මම කිව්වා මිනිස්සුන්ගෙ හිතේ විශ්වාසය ඇති කරන්න. මේක අපිට ජයගන්න පුළුවන් කියන එක මිනිසුන්ගේ ඔළුවලට සියුම්වම යවන්න. මිනිස්සු බය කරන වැඬේ නතර කරන්න. මට හොඳ ප‍්‍රතිචාරයක් තිබ්බා.
හැබැයි මාධ්‍යයත් එක ඉල්ලීමක් කළා. ඒගොල්ලෝ කිව්වා ආණ්ඩුවට එක තනි මතයක් නෑ. ආණ්ඩුව එකයි ඇමැතිවරු එකයි නිලධාරියෝ එකයි හැටියට විවිධ මත පළ කරන්නේ නැතුව රජයක් හැටියට එක මතයක් මාධ්‍යවලට දෙන්න කියලා.” ඩලස් අලහප්පෙරුම ද පවසා තිබිණි.
‘‘ඉස්සර යුද්ධය තිබුණ කාලේ මාධ්‍ය ඔක්කොම එකතුවෙලා මිනිසුන්ගේ මොරාල් එක හදන්න ලොකු සේවය කළා. හැබැයි අද ඒ සපෝට් එක මාධ්‍යවලින් නෑ. විනාඩි විස්සක් විතර තියෙන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය ඇතුළෙ විනාඩි හතරක් විතර ඒගොල්ල පෙන්නනව එන්නත්කරණ මධ්‍යස්ථානයක පුංචි ගෝරියක්… මේ මාධ්‍ය මෙහෙයුම් ගැන මීට වඩා හිතන්න වෙනවා…” රෝහිත අබේගුණවර්ධන මෙහිදී පවසා ඇත.
සමඟි ජන බලවේගේ ලස්සනම කොල්ලා
සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම මේ සතියේ ද පැවැත්වුණේ සූම් ක‍්‍රමයටය. රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, ගයන්ත කරුණාතිලක සහ අශෝක අබේසිංහ යන මන්ත‍්‍රීවරු කල් ඇතිවම රැස්වීමට එක්ව සිටියහ. අශෝක අබේසිංහ මන්ත‍්‍රීවරයා එයට එක්ව සිටියේ ලස්සන කමීසයක් ඇඳගෙනය.
”අශෝක අද මඟුල් ගෙදරක යන්නද ලෑස්තිවෙලා ඉන්නේ. අශෝක අබේසිංහ මන්ත‍්‍රීවරයාගේ කමීසය දුටු සරත් ෆොන්සේකා ඇසුවේය.
”නෑ… නෑ… මම මේ මීටිං එකට තමයි ආවේ. අශෝක පිළිතුරු දුන්නේය.
”ඉතිං සූම් මීටිං එකක් නේ තියෙන්නේ’ ෆොන්සේකා සිහිපත් කළේය.
”අශෝක ඉතිං ගෙදරටත් ලස්සනට ඇඳලනේ ඉන්නේ’ ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයාත් කතාවට එක්විය.
”මම ඉතිං ලස්සනට කොල්ල වගේ ඇඳලා ඉන්නවානේ.’ අශෝක කීවේය.
”ඒක නිසා තමයි අශෝකට නෝන වැඩිය ගෙදරින් එළියට යන්න දෙන්නේ නැත්තේ’’ ෆොන්සේකා කීවේ සියල්ලෝම සිනා ගන්වමිනි.
ඒ අතරම මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරත් සාකච්ඡාවට ආවේය.
”මේ ඉන්නේ අනිත් කෙනා’’ ෆොන්සේකා කියන විට මහලේකම්වරයත් මොකක්ද කියන්නේ කියා වට පිට බලන්න විය.
”ඔබතුමාටත් වැඩිය එළියට යන්න දෙන්නේ නෑලූනේ. ලස්සනට ඉන්න නිසා නෝන යන්න දෙන්නේ නෑ කියන්නේ’’ ෆොන්සේකා කියන විට සියල්ලෝම සිනාසෙන්නට වූහ. මේ විහිළු කතාබහ අතරේ සියලූ දෙනාම සූම් සාකච්ඡාවට ඇතුළුවූයේ සූම් සාකච්ඡාවලදී විඳින්නට සිදුවන අකරතැබ්බයන් ගැනද සිහිපත් කරමිනි.
ඇතැම් විට සමහරුන්ට තමන්ගේ මයික‍්‍රපෝන නිහඬ කරගැනීමට අමතක වන අතර එවිට ගෙදර සියලූ දෙනාම කතා කරන දේවල් අනෙක් අයටද ඇසෙන්නේය. බොහෝ විට මේ අකරතැබ්බයට මුහුණ දෙන්නේ තුෂාර ඉඳුනිල් මන්ත‍්‍රීවරයා ය.
සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග හා විදේශ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු දූත කණ්ඩායමක් පසුගිය සතියේ රුසියාව බලා පිටත්ව ගියේ සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනකට සහභාගි වීමටයි. ”මෙහෙ කොවිඞ් මර්දන කටයුතු සෞඛ්‍ය අංශ කරනවා. එහෙම උනා කියලා ජනතාවගේ එදිනෙදා කටයුතු නැවතිලා නැහැ.” තානාපති කාර්යාල නිලධාරියෙක් පැහැදිලි කළේය.
පසුදින රුසියානු මාධ්‍යවේදීන් හා සංචාරක අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡා පැවැත්වීමට පෙර රුසියාවේ සෞඛ්‍ය නීති රීති පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා සහ සංචාරක අමාත්‍යවරයා අතර කතා බහක් ඇති විය.
”අපේ රටේ වගේ නෙමෙයි. මෙහෙ මිනිස්සු මාස්ක් එක දාන්නෙ නැහැ. සමහර මිනිස්සු හැසිරෙන්නේ ලෝකයේ වසංගතයක් නැහැ වගේ ” ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කීවේය.
”අපේ රට සෞඛ්‍ය නීතිරීති දැඩි කළාට අනෙක් රටවල දැන් ඒ තත්ත්වය දකින්න ලැබෙන්නේ නැහැ. ඒ රටවල් ෆුල් ඕපන්” තාරක බාලසූරිය රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
”මිනිස්සු කොරෝනා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙනවා” ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ද කීය.
මාධ්‍ය හමුව ආරම්භ වීමෙන් අනතුරුව රුසියානු මාධ්‍යවේදියෙක් ”ඔබේ රටේ සෞඛ්‍ය නීති රීති දැඩි නේද” විමසීය.
”ඔව් අපේ රටේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂාවට මූලිකත්වය දීලා තියෙනවා. අපි පළමුව එන්නත් කරන වැඩපිළිවෙළ සම්පූර්ණ කර ගන්නවා. ඊට පස්සේ දැනට තියෙන සීමාකිරීම් ලිහිල් කරන්න සූදානම්.” සංචාරක අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ ය.
එදින සවස රුසියානු සංචාර සංවිධානය කරන්නන් හා අමාත්‍යවරයා අතර තවත් සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී ද අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් පෙන්වා දුන්නේ එලැඹෙන ශීත සෘතුවේදී ශ‍්‍රී ලංකාව රුසියානු සංචාරකයින්ගේ සංචාරක ගමනාන්තයක් කරගන්නා ලෙසයි. විශේෂත්වය වන්නේ සංචාරක අමාත්‍යවරයා එහිදී රුසියානු බසින් ම ශ‍්‍රී ලංකාවේ සුන්දරත්වය දැක බලා ගැනීමට එන ලෙස ආරාධනා කිරීමයි. මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සංචාරක අමාත්‍යවරයාට දුරකථනයෙන් අමතා ”ප‍්‍රසන්න වැඬේ හොඳට යනවා නේද” විමසීය.
”ඔව් ඇමැතිතුමා. අපි ආපු වැඬේ සීයට සීයක් සාර්ථකයි. අපිට පුළුවන් ඉක්මනටම සංචාරක ව්‍යාපාරය තිබුණු තත්ත්වයට ගේන්න.” සංචාරක අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ ය.
මෙවර අයවැය යෝජනා ගැන කතා කරන්නට හා සාකච්ඡා කරන්නට බැසිල් රාජපක්ෂ පසුගිය දිනවල දිගින් දිගටම සිය කාලය හා අවධානය යොමු කරමින් සිටියේ ය.
‘‘අපේ ගම නිර්මාණය වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට ජීවත් වෙන්න අධ්‍යාත්මිකවත් භෞතිකවත් අත්‍යවශ්‍ය සාධක එකතුවකින්.. ගමේ පංසල හෝ ආගමික සිද්ධස්ථානය, වගේ දේවල් අපි දියුණු කරන්න කැමතියි. ජනජීවිතය වඩාත් යහපත් තැනකට ඔසවා තැබීම ගැන අපි අලූතින්ම හිතන්න ඕන. ඒ වගේම අලූත් සමාජ ගැටලූ අවම කිරීම වෙනුවෙන් අපිට ලොකු වගකීමක් තියෙනවා. මෙවර අයවැයෙන් ඒ සඳහා උපරිමයෙන් ප‍්‍රතිපාදන සපයන්න ආණ්ඩුව සූදානම්…
මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මේ ආරම්භය ගත්තෙ අයවැය වෙනුවෙන් ග‍්‍රාමීය යෝජනා කැඳවීම ගැන මූලික දැනුවත් කිරීම සඳහා දිස්ත‍්‍රික් මට්ටමින් කැඳවා තිබූ පොහොට්ටුවේ නියෝජිත හමුවේදීය. පසුගිය දින කිහිපයකම අරලියගහ මන්දිරයේදි පැවති මේ සාකච්ඡා වාරය එක් එක් දිස්ත‍්‍රික්ක වෙන් වෙන්ව කැඳවල තිබුණා.
‘‘ඔබතුමා මහින්ද ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙ ආර්ථික සංවර්ධන ඇමැති කාලෙ ගම වෙනුවෙන් කරපු වැඩ කන්දරාව නිසා තමයි ගම් මට්ටමින් අලූත් දේශපාලන පක්ෂයක් හදාගෙන නැවතත් ආණ්ඩු බලය දක්වාම අපිට එන්න පුළුවන් වුණේ….” ගාල්ල දිස්ත‍්‍රික් නියෝජිත හමුවේදී ඇමැති රමේශ් පතිරණ මුදල් ඇමැතිතුමා මෙසේ කීවේය.
ඇමැති රමේෂ්ගේ අදහස මුළු සභාවම අනුමත කළ බව තේරුණේ හැමෝම ගහපු අත්පුඩියෙන්.
බැසිල් රාජපක්ෂ යළි පැහැදිලි කිරීම පටන් ගත්ත.
‘‘ඔබ හරහා එන යෝජනා ගමත් එක්ක කතා කරල පොදු එකඟත්වයකට පැමිණි ගමේ ජනතාවගේ යෝජනා විය යුතුමයි. ඒවා ජීවනෝපාය, යටිතල පහසුකම්, සංස්කෘතික සහ පාරිසරික කියන සංවර්ධන ක්ෂේත‍්‍රයන් සියල්ල අතරේ සාධාරණ ලෙස බෙදී යා යුතුයි. රජයේ නිලධාරීන් සහෝදර දේශපාලන නියෝජිතයන් මේ හැමෝම එක්කම බොහොම සුහදව මේ වැඬේ ඔබ හරියට කරයි කියල මම බලාපොරොත්තු වෙනව…”