තවමත් ලංකාව එන්නත්කරණයෙන් ලෝකයෙන්ම එක

0
Picture courtesy: nmra.gov.lk
කොරෝනාවට එරෙහි එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වේ. උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක එන්නත්කරණය අද දිනයේ ද මධ්‍යස්ථාන 416 ක දී සිදු වේ. වයස අවුරුදු 20 ත් 29 ත් අතර වයස් කාණ්ඩයේ අය සදහා එන්නත්කරණය බස්නාහිර පළාතේ සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ක්‍රියාත්මකය.  ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 28 ක ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 30ක දී මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 38ක දී ද එන්නත්කරණය ක්‍රියාත්මකය.
මේවන ඊට කෝවිඩ් මර්දන එන්නත්කරණයෙන් දෙවන සතියටත් ශ්‍රී ලංකාව ලෝකයේම පළවෙනි ස්ථානයට පත්ව තිබේ. එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව පසුගිය සතියේ දී ලෝකයෙන්ම පළමු ස්ථානය ලබා ගත්තේය. ජනගහනයෙන් සියයට එකොලහයි දශම හයක ප්‍රතිශතයකට පසුගිය සතියේ දී පමණක් එන්නත ලබාදී ඇත. ගෝලීය කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක වාර්තා ඉදිරිපත් කරන අවර් වර්ල්ඩ් ඉන් ඩේටා වෙබ් අඩවියේ දත්ත විශ්ලේෂණ අංශයේ ප්‍රධානි එඩ්වඩ් මැතිව් ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව සදහන් කළේය. නවසීලන්තය හා කියුබාව පිළිවෙළින් දෙවන සහ තුන්වන ස්ථානයේ පසුවේ.
කෙසේවෙතත් වයස අවුරුදු 20ත් 29ත් අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉල්ලා ඇත. එහි මාධ්‍ය ප්‍රකාශක සමන්ත ආනන්ද මහතා පවසන්නේ එම වයස් කාණ්ඩය සඳහා සයිනොෆාම් එන්නත ලබාදීම සුදුසු බවට මේ වන විට නිර්දේශ කර ඇති බවය.
එබැවින් මෙරට සතු කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් තොගය පාසල් ළමුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප්‍රකාශ කළේය.
“වයස අවුරුදු 20ත් 29ත් අතර පිරිසට නිර්දේශිත එන්නත තමයි සයිනොෆාම් එන්නත. එම එන්නතේ අවශ්‍ය තරම් තොග ලැබෙන නිසා ෆයිසර් එන්නත ඒ කණ්ඩායමට වෙන් නොකර පාසල් දරුවන් සඳහා වෙන්කරලා. ඒ කාණ්ඩයට අවශ්‍යතාවයක් තිබෙනවානම් ෆයිසර් එන්නත වෙනුවට සයිනොෆාම් එන්නත ලබාදෙන්න කියන එක තමයි අපි ඉදිරිපත් කළේ. ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් සෞඛ්‍ය අමාත්‍යවරයා දැක්වූවා. සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට කියලා. ඒ වාගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳව අදාළ නිර්දේශ ගැනීමට කටයුතු කරමින් යන බව කියා සිටියා.“