Political fact – සතියේ දේශපාලන ක්‍රියා

0

By: අශන්ති වරුනසුරිය    

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මාස තුනක කාලය තුළ පක්ෂය ZOOM තාත්ෂණය ඔස්සේ ඔන්ලයින් පක්ෂයක් බවට නිර්මාණය කරන ලෙස ලබාදුන් උපදෙස්වලට අනුව එජාප පළාත් පාලන කමිටුවේ සභාපති සන්දීප් සමරසිංහ මහතා විසින් රට පුරා පළාත් පාලන ආයතනවල නියෝජිතයින් ZOOM තාක්ෂණය ඔස්සේ දැනුවත් කිරීමට සැලසුම් කර තිබූ අතර ඒ රැස්වීම් මාලාවට සමගාමීව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සති අන්තයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින් සහ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ රැස්වීම් ZOOM තාක්ෂණය ඔස්සේ ආරම්භ කරනු ලැබීය.

මෙම මස 6 වෙනිදාට යෙදෙන එක්සත් ජාතික පක්ෂයේ 75 වෙනි සංවත්සරය සහ එම සංවත්සරයෙන් පසු එජාප සංවිධාන ජාලයේ වැඩකටයුතු ZOOM තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙනයාම පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ආසන සංවිධායකවරු, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් හා අපේක්ෂකයින් සම්බන්ධ කර ගනිමින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් වජිර ZOOM තාක්ෂණය ඔස්සේ දියත් කරන ලදි.

සිකුරාදා වනවිට දැනුවත් කිරීමේ රැස්වීම් සියල්ල ඉතා සාර්ථකව අවසන් කිරීමට සැලසුම්කර තිබූ අතර පසුගිය ඉරිදා සහ සිකුරාදා අදියර තුනක් යටතේ පැවැති ගාල්ල දිස්ත්‍රික් රැස්වීමේදී 75 වෙනි සංවත්සරයේ න්‍යාය පත්‍රය,  ඉන් පසු පක්ෂය සංවිධානය කිරීම සඳහා දියත්කරන වැඩසටහන් හා නව සැලසුම් පිළිබඳවත් දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ වජිර පවතින සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර සංවත්සරයේ කටයුතු ZOOM තාක්ෂණය ඔස්සේ සිදුකරන බවත්, ඊට සියලුදෙනා එක්විය යුතු බවත් පැවසීය.

ඒ අනුව සංවත්සරය වෙනුවෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ප්‍රධාන රැස්වීම සැප්තැම්බර් 5 වෙනි ඉරිදා සවස 5 සිට සවස 6 තෙක් ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන බවත්, එහිදී රටේ වත්මන් තත්ත්වය හා ගරා වැටෙමින් තිබෙන මේ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සතු සැලසුම් සම්බන්ධව නායකතුමන් විසින් කරුණු ප්‍රකාශ කරනු ඇති බවත්, වජිර අනාවරණය කළේය.

ගරා වැටෙන මේ රට යළි ගොඩනැගීමට නම් ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන වසර 10 ක් 15 ක් අඛණ්ඩව ඉදිරියට යන යකඩ ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාවට නැංවිය යුතු බව නායකතුමාගේ ස්ථාවරයයි. මේ පිළිබඳව පක්ෂයක් ලෙස අපි දීර්ඝ කාලයක් සාකච්ඡා කළා. ඒ අනුව ආර්ථික ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව, පරිසර ආරක්ෂාව හා දැනුමේ ආරක්ෂාව යන ප්‍රධාන කරුණු පදනම් කරගනිමින් රටේ සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නව ජාතික සැලැස්මක් සකස් කරමින් තිබෙනවා. මේ පිළිබඳව නායකතුමාගේ කතාවෙන් තවත් තොරතුරු ඔබට දැනගත හැකියි.  යැයි වජිර ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධව වජිර සිදුකළ දීර්ඝ කරුණු පැහැදිලි කිරීමෙන් පසු සංවිධායකවරු ප්‍රමුඛ රැස්වීමට සහභාගී වූ අය තමන් තුළ පවතින ගැටලු ගණනාවක් ඉදිරිපත් කළේය.

එහිදී එක් සංවිධායකවරයෙක් වජිරගෙන් විමසා සිටියේ ඔබතුමා මීට වසරකට පෙර 2024 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පත්කරගන්නා බව ප්‍රකාශ කළා. ඒ සඳහා ආණ්ඩුවේ සහ අනෙකුත් පක්ෂවල අය අපේ පැත්තට එන්න සූදානම්ද? කොහොමද 2024 දී යුඑන්පී ආණ්ඩුවක් පිහිටුවන්නේ?… 

2024 දී නියත වශයෙන්ම අපි ආණ්ඩුවක් පිහිටුවනවා. එය ලියලා තියාගන්න. ඒ ගැන ඔයාලා කිසිම සැකයක් තියාගන්න එපා. 2014 දී අපි ආණ්ඩු බලය ලබාගන්නා බව ප්‍රකාශ කළේ ඊට වසරකටත් පෙර සිටයි. එදා අපේ නායකතුමා එහෙම කියනවිට අපේම අය එය කිසිදාක සිදුකළ හැක්කක් නොවන බව ප්‍රකාශ කළා. නමුත් අපි ගෙනගිය උපායශීලී වැඩපිළිවෙල නිසා රටේ පාලන බලය ලබාගැනීමට එදා අපිට හැකිවුණා. මේ වතාවෙත් එය ඊටත් වඩා හොඳින් සිදුවෙනවා. ඒ සඳහා පැහැදිලි සැලස්මක් අපිට තිබෙනවා. ඒ සැලැස්මේ එක් පියවරක් තමයි ආණ්ඩුවේ අය සහ විපක්ෂයේ අනෙකුත් පාර්ශව අප සමග එක්කර ගැනීම. ඒ වැඩපිළිවෙල අදටත් ක්‍රියාත්මකයි. එය ඉතා සාර්ථකයි. එ් ගැන සියලු කරුණු මට හෙළිකළ නොහැකියි. නිසි වේලාවට ඒ පිළිබඳව කරුණු හෙළි කරන්නම්. එතෙක් ඔබ පක්ෂය විසින් ඔබට පවරන වැඩකටයුතු සිදුකරන්න.  යැයි වජිර ප්‍රකාශ කරමින් සිය පිළිතුර අවසන් කළේය.

පසුගිය සඳුදා කළුතර, කෑගල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ ZOOM තාක්ෂණය ඔස්සේ රැස්වීම් පැවැත්වුණේ රුවන්, වජිර, රංගේ, සාගල, සන්දීප් යන අයගේ ප්‍රධානත්වයෙනි.

රුවන් ඇතුලු ප්‍රධානීන් මෙහිදී එක් එක් මාතෘකා යටතේ ක්‍රියාකාරීන් දැනුවත් කරමින්  ඔවුන් ධෛර්‍යමත් කළෝය. අනුරාධපුර රැස්වීමේ කටයුතු පැවැත්වෙන අතරතුර වජිර පිළිබඳව විශේෂ ඇගයීමක් කළේය. ඒ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අපේක්ෂක රිශ්වීන් විසිණි.

වජිර ඇමතිතුමනි, ඔබ එඩිතර, නිර්භීත දේශපාලනඥයෙක්. ඔබ ඉතිහාසය පුරාවටත්, අදත් පක්ෂයත්, නායකතුමත් ආරක්ෂා කරනවා. එය දේශපාලන නායකයෙකුගේ හොඳ ලක්ෂණයක්. මට මතකයි මීට අවුරුදු කිහිපයකට ඉහතදී එක්සත් ජාතික පක්ෂය මහනුවර සිට කොළඹ දක්වා ජනබල පාගමනක් පැවැත්වූවා. ඒ පාගමන ඉදිරියට එන අතරතුර කිසියම් පණිවුඩයක් ලද සැණින් ඔබතුමා අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාව පාරේ පැමිණි වාහනයක දාගෙන එතැනින් ඉදිරියට ගමන් කළා. ඒ සිද්ධිය මගේ ජීවිතේ කිසිදාක අමතක වන්නේ නැහැ. ඔබතුමා ඒ ක්ෂණික පියවර නොගත්තා නම් මහා විනාශයක් වීමට ඉඩ තිබුණා. ඇමතිතුමනි ඒ සිද්ධිය නැවත මෙහිදී සිහිපත් කළ හැකිදැයි  රිශ්වින් විමසා සිටියේය.

ඔව්, රිශ්වි ඒ සිද්ධිය මටත් හොඳට මතකයි. නමුත් ඒ ගැන පසුව මම ඔබට කරුණු පැහැදිලි කරන්නම්. යැයි ඊට පිළිතුරු දෙමින් වජිර පැවසීය.

අඟහරුවාදා මොණරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල එජාප ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ ZOOM සාකච්ඡාවලින් අනතුරුව සවස කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.

නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ZOOM තාක්ෂණය ඔස්සේ පැවැති මෙම රැස්වීමට කෘත්‍යාධීකාරී මණ්ඩල සභිකයින් 50 කට ආසන්න පිරිසක් සහභාගීව සිටියහ.

රැස්වීම ආරම්භ කරමින් 75 වෙනි සංවත්සරය වෙනුවෙන් සිදුකරන සම්පූර්ණ වැඩපිළිවෙල සහ ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල හා ගමන්මග පිළිබඳව නායක රනිල් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු අණාවරනය කළේය.

අනතුරුව සංවත්සර රැස්වීම පවත්වන ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් සාගල කියා සිටියේ ZOOM තාක්ෂණය ඔස්සේ සංවත්සරයේ වැඩකටයුතු ඉතා සාර්ථකව සිදුකිරීමට අවශ්‍ය පියවර සැලසුම් කර තිබෙන බවයි.

සංවත්සරයේ ප්‍රචාරක වැඩකටයුතු රුවන්, වජිර, රංගේ, සාගල ප්‍රමුඛ සියලුදෙනා එකතු වී ඉතා සාර්ථක අන්දමින් සිදුකර තිබෙන බවට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ප්‍රසාදය ඔවුන්ට පළ විය. එමෙන්ම සත්‍ය දකින සත්‍ය කියන එක්සත් ජාතික පක්ෂය යන මැයෙන් ඉතා සාර්ථක පෝස්ටරයක් නිර්මාණය කර ඇති බවත් ZOOM තාක්ෂණය ඔස්සේ පවත්වන ලද රැස්වීම්වලදී පවා ඒ පිළිබඳව අගය කර තිබෙන බවද එහිදී කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෝ පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් කතාබහ යන අතරතුර වජිර ප්‍රකාශ කර සිටියේ මේ වනවිට භාෂා දෙකකින් සමන්විත සංවත්සරයේ පෝස්ටරය රටේ සෑම ප්‍රදේශයකම බෙදා හැරීමට කටයුතු සැලසුම් කර තිබෙන අතර පුවත්පත්, විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරක වැඩපිළිවෙල ආරම්භ කර තිබෙන බවයි.

දිස්ත්‍රික් මට්ටමේ සංවිධාන හා පරිපාලන කටයුතු පිළිබඳව මෙහිදී රංගේ සහ රුවන් දීර්ඝ වශයෙන් අදහස් දැක්වීය.

මේ අතර පසුගිය බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල මඩකලපුව, වන්නි, යාපනය, මාතර, පොළොන්නරුව, අම්පාර ඇතුලු තවත් දිස්ත්‍රික්ක කිහිපයක ක්‍රියාකාරීන් දැනුවත් කිරීම රුවන්, වජිර, රංගේ ඇතුලු පක්ෂයේ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ZOOM තාක්ෂණය ඔස්සේ  සිදුකරන ලදි.