By: අජිත් නන්දසේන
” සුලඟ නොවේ මේ පාවී එන්නේ,
කුටියක හිර වී හෙලන සුසුම්,
අතු අග පර වී බිමට වැටෙන්නේ,
සමනල යුගයක පිපුණු කුසුම්.”
එදවස වෝක්මනයෙන් ගලා ආ නන්දා මාලිනියගේ ගී හඬට මාගේ හදවතේ හීනි නහරයක් පවා එලෙස දෝංකාර දුන්නේය.
මාන්කුලම ඝණ වනාන්තරය දහවලට එලියට බහින්නට බැරි තරම් තද රස්නයක් පවති, එහෙයින් මම බංකරය තුලටම වී උන්නෙමි.
ඇත්තටම අතු අග පරවී බිමට වැටෙන්නේ මාගේ සමනල් වියේ පිපුණු සුන්දරම කුසුම් නොවේ දැයි බංකරයේ කුඩා කව්ලු වැලි ගෝනි අතරින් ඉදිරියේ ආසන්නයේම ඇති ආරක්ෂක බැම්මට උසින් පෙනෙන දැවැන්ත මහා පලු, වීර, ගස් දෙස බලා මා කල්පනා කලෙමි.
දිවා ආහාර පැකට්ටුව රැගෙන එන ට්‍රැක්ටරයේ හඬ ඇසී මා මාගේ සගයාට කතා කලෙමි. ඔහු හෙට නිවාඩු යන්නට සූදානම්ව සිටින නිසා එම ට්‍රැක්ටරයෙන් අද හවස උප මූලස්ථානය වෙත යා යුතුය. පසුව පසුදා උදෑසනම උප මූලස්ථානයේ සිට ට්‍රැක්ටරයෙන් හෝ පා පැදියෙන් කි.මී. 15 ක් 20 පමණ දුරින් පිහිටි මූලස්ථානය වෙත ගොස් එතැන් සිට ඝණ යකඩ තහඩු වලින් ආවරණය කරන ලද බස් රථයේ බිම දිගා වී හෝ වාඩි වී වව්නියාව දක්වා යුධ හමුදාව සමග පාර දෙපස පරික්ෂා කර ” OK ” යන ගුවන් විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රයේ හඬට දින 10 ක නිවාඩුවකට තම ආදරණීයන් සමග ගත කිරීමට පිටත්ව යයි. මෙහිදී බස් රථයට ඉදිරියෙන් සන්නද්ධ ඩිෆෙන්ඩර් රථයද පසු පසින් සන්නද්ධ APC රථයද අනුරාධපුරය දක්වා ගමන් කිරීම තරමක විස්වාසනීය ගමනාන්තයක් ආදරණීය හදවත් ඇති ගුවන් භටයින්ගේ සුන්දර සිත් වල රදවයි.
මාන්කුලම ඝණ වනාන්තරය දහවලට තද රශ්මියට එහා ගිය මහා ඝණ කලුවරක් රාත්‍රී කාලයේ පවතී. රාත්‍රී ආහාරය ඔතා ඇති ලන්ච් සීට් එක දිග හැර අදුරේ අතපත ගාමින් බොහෝම නිශ්සබ්දව බත් පිඬු දෙක තුනක් කටට දාගන්නා විට එහි ඇති ව්‍යාංජන මොනවා දැයි අපට දැනේ. අල පරිප්පු, මාලු බිත්තර හදුනා ගන්නේ රසයෙනි. අප පොඩි කාලයේ දස වතාවක් එක දිගට කියන්නට උත්සාහ කල, පුංචි ටීචගේ පුංච් ටෝච් එක යාන්තම් වත් දල්වන්නට බැරිය.
තරුද නිදන මහ රෑ – නිදමි මහද නිදි නෑ
රාජකාරියෙන් මිදෙන සුලු මොහොතේ නිළ ඇදුම ඇගලාගෙනම පුංචි නින්දකට යන්නට පෙර වකුටු වී මාගේ ආදරණීයන් එවූ ලියුමක් දහ දොලොස් වතාවක් යාන්තමින් ටෝච් එලියෙන් කියවා නිදා ගත්තත් මාගේ හදවතට නින්ද යන්නේ නැත. ගහ කොල සතා සීපාවා අහස පොළොව ඉර හඳ තරු මුලු ලොවම නිදා සිටියත් ම හද නිදි වර්ජිතව හිදී.
උදෑසනම අවදිවී බංකරය අවට සුද්ද පවිත්‍ර කර පොදු වැඩ වලට සහභාගි වී ඉදිරි ආරක්ෂක වලල්ලේ නඩත්තු කටයුතු කිරීමෙන් පසු ලැබෙන සුලු විවේකයේදී ප්‍රියාදරී පත්තරයත් එහි අනු පත්තරත් පට්ට ගැසීම සාමාන්‍ය දෙයකි.
සති කිහිපයක් මාස කිහිපයක් එක තැනක ලැගුම් ගෙන භූමිය ආරක්ෂා කරන අප ජය සිකුරු ක්‍රියාන්විතය ඉදිරියට යනවාත් සමග එම භූමිය අත හැර ඉදිරි භූමියක් වෙත ගොස් ලැගුම් ගනී. එවිට අප අපගේ සියලුම යුධ ආයිත්තම් ,අවි ආයුධ, කූඩාරම් වාහන උපකරණ සියල්ල හකුලාගෙන ඉදිරියේ ඇති සංග්‍රාමික වශයෙන් තෝරා ගන්න භූමියක ලැගුම් ගන්නෙමු. මෙහිදී අප විසින් අපගේ ඉදිරි ආරක්ෂක වලල්ලටත් එපිටින් අප විසින් ඇතිරූ වංචනික වෙඩි, ශබ්ද වෙඩි, පුද්ගල නාශක බෝම්බ, යුධ ටැංකි නාශක බෝම්බද ඉවත් කරගෙන ගොස් නැවත ලැගුම් ගන්නා ස්ථානයේ ඉදිරි ආරක්ෂක වලල්ලට ඉදිරියෙන් ඇතිරීම ඉතාම දුෂ්කර කටයුත්තකි. බෝම්බ නිශ්ක්‍රීය කරුවකු හැටියට මා පුද්ගලිකව ඒ අත්දැකීම ගනනය කිරීමට නොහැකි තරමක් විද ඇත.
ලැගුම ගන්නා ඕනෑම භූමියක ක්‍රීඩා පිටියක් සකසා ගෙනෙන අප සගයින්ගේ මානසික සහ ශාරීරික යහ පැවැත්ම වෙනුවෙන් ක්‍රියා කිරීම එවකට එකට සිටි නිළදාරීන්, ජේෂ්ඨ, කණිෂ්ඨ සියලුම දෙනා පොදුවේ උනන්දු වූ කටයුත්තකි. මාසයක වතාවක් බළඝණ අතරේ තරඟාවලි සංවිධානය කර එය Happy hours ලෙස නම් තබන ලදි. මාන්කුලම් නගරය ආසන්නයේ සතුරු තර්ජනය දැඩිව පැවති ” භව දුක ” ලෙස අප නම් කර තිබූ ස්ථානයේ ලැගුම් ගෙන සිටියදී පවා අප ක්‍රීඩාව නතර කලේ නැත.
සවස 4.00 වන රාජකාරියෙන් මිදී ඇති සියල්ලෝම තම පුද්ගලික අවිය සමග ක්‍රීඩා පිටියට පැමීමට අණ දෙන නිළදාරීන් තුමාගේ සිට සැවොම වග බලා ගත්හ. සතුරු ක්‍රියාකාරකම් වලට සූදානම්ව ක්‍රිකට් ක්‍රීඩා කිරීම සුවිශේෂයි. මෙහිදී පන්දු රකින්නන්ගේ අවිය පන්දු රැකීමට ස්ථානගත වී ඇති ආසන්නයේද, පන්දු යවන්නාගේ අවිය විනිසුරු අතද, පන්දුවට පහර දෙන්නන්ගේ අවි විකට්ටුව අසලද, විනිසුරන්ගේ අවි ඔවුන්ගේ ඇඟ හරහාද තබාගෙන ක්‍රිකට් ක්‍රීඩා කිරීම කෙසේ අමතක කරන්නද.
සතුරු තර්ජනය සේම එවකට මැලේරියා උණ තර්ජනය බහුලව මාන්කුලම් ඝණ වනාන්තරයේ අපව දැඩි ලෙස අසරණ කල කරුණකි. ඉදිරි වලල්ලේ සිට දෙතුන් දෙනා ට්‍රැක්ටරයේ දිගාවී වෙව්ලමින් මූලස්ථානය වෙත යන හැටිත්, අප විසින්ම සකසාගත් පාරවල් වැස්සට සේදී ගොස් හෑරී අලි නෑවිය හැකි තරමේ වලවල් උඩින් ට්‍රැක්ටරයේ අසනීපව වැතිරී යන විට දැනෙන හැගීම දරාගෙන සිටීමම දැඩි ආත්ම විශ්වාසයකි.
අප පනස් දෙනෙකු පමණ සිටිනා කණ්ඩායමකට බොහෝ විට සිටිනුයේ එක් හෙද සහයකයෙකි. හදිසියේ රාත්‍රියකදී හෝ ඔහුට අසනීප වුවහහොත් අප ඉතා අපහසුතාවයට පත් වන්නෙමු. දිනක් එම තනි හෙද සහයකයා අසනීපව හදිසියේ ඔහුට බෙහෙතක් විදීමට අවශ්‍ය වී ඔහුගේම උපදෙස් මත ඔහුම අතේ සලකුණු කල ස්ථානයට මා විසින් බෙහෙතක් විදීම මාන්කුලම් ඝණ වනාන්තරයේ මා මා ගැනම තෘප්තිමත් වූ අවස්ථාවකි. සංග්‍රාමික ප්‍රථමාධාර පිළිබඳව මා දීර්ඝව හදාරා තිබුනත් එවැනි කටයුතු අද්‍යනය කර තිබුනේ නැත.
එවැනි ආදරණීය, රසබර ,දයාබර සෙනෙහෙබර , කරුණාබර , පිංබර මතක් කර කර තෘප්තිමත් විය හැකි මතකයන් අතරේ විඩාබර, වේදනාබර, දුක්බර මතකයන්ද බොහෝමය. සටහන් කිරීමට නොහැකි තරමේ දුක්බර මතකයන් අතරේ උරෙනුර ගැටුනු සගයන්ගේ අහිමි වීම, අතුරුදන් වීම, තුවාල වීම, සහ ජීවිත කාලයටම එම කාලකණ්නි යුද්ධයේ අසුන්දර මතකයන් සමග ජීවත් වන සුන්දර අධිෂ්ඨානශීලී මිතුරන්ද මේ සටහනින් ගව්රවයෙන් සිහිපත් කරමි.
අනුරාධපුර කදවුරෙන් අවිය රැගෙන මාන්කුලම් පුලියන් කුලම් ඝන වනාන්තරයේ දැවන්ත පලු, විර,,තේක්ක බුරුත , කෝන් දඹ, ගස් අතරින් සතුරු ක්‍රියාකාරකම් දෙස දින හතලිහක් පනහක් එක දිගට මාන බලා නැවත අනුරාධපුර කදවුරට අවිය භාරදී දින හත අටක් අපගේ ආදරණීයන් සමග ගත කිරීමට පැමිණි අප, අද මාන්කුලම් පුලියන් කුලම් දෙස බලන විට හිතා ගන්නට වත් නොහැකි තරමේ වෙනසකට භාජනය වී ඇත.
ජනාකීර්ණ නගර ලෙස පත් වී ඇත, කොළඹ මාන්කුලම් අඩ සැප බස් බහුලය. කඩ සාප්පු, වෙළද සංකීර්ණ , පුඩ් සිටි සිනමාහල්ද ඇත.
අප කබර දැමූ තඩි ලූල්ලු ඇල්ලූ ගැබා වැව, Track HQ වැව සම්පූර්ණයෙන්ම සුද්ද පවිත්‍ර කර නිල්ල නඟන එකම වෙල යායකි.
අයිතිකරුවන් නැතිව සැරි සැරූ දහස් ගනන් මී ගව රෑන් වලට අයිතිකරුවන් හමුවී ඇත. දහස් ගනන් ගව රෑනේ අලුතින් පැටවකු බිහිකල එලදෙනක් අල්ලා බංකරය අසල බැදගෙන උදේට කිරි බෝතලයක් පමණ බීම අප බහුතරයකගේ පුදුද්ද්කි.මා ද ඉන් එකෙකි.
දැන් කොළඹ , නුවර ,අනුරාධපුරය මාන්කුලම් පුලියන් කුලම් කියා වෙනසක් නැත. මිනිසුන්ගේද වෙනසක් නැත. සැවොම සුන්දර හදවත් ඇති මිනිසුන්ය
එහෙයින් අපි නැවත මෙවැනි සාපලත් කාලකණ්නි යුද්ධයක් නොපතමු.