Political Fact – දේශපාලන කොලම

0

By: මේඝා චින්තාමණි

 වජිර යන්නේ තනි ගමනක් ද ? ගෙවුණු සතියේ එජාපයේ සිද්ධ වුන දේ
පසුගිය සති අන්තය ආගමික වැඩකටයුතු වෙනුවෙන් යොදාගත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන එහි පියවරක් ලෙස පෑළියගොඩ පඥ්ඥානන්ද ධර්මායතන විහාරස්ථානයට පැමිණ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ පූජ්‍ය මාලේවන ධර්මවිජය හිමි (පෙර අනගාරික ධර්මසේකර තුමා) බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබිණි.
පැය දෙකකට අධික කාලයක් විහාරස්ථානයේ රැඳී සිටිමින් වජිර නා හිමිවරු සමග කතා කරලා තිබුණේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මෙන්ම දේශපාලන, ආර්ථික තත්ත්වයන් පිළිබඳවය.
සාකච්ඡාව පැවැත්වෙන අතරතුර “එක්සත් ජාතික පක්ෂය අලුත් සිතුම් පැතුම් හඳුනාගනිමින් අලුත් පරපුර පක්ෂය වටා ඒකරාශී කරගනිමින් නව ගමනක් මේ වනවිට ආරම්භකර තිබෙනවා. අපේ නායකතුමන්ගේ උත්සාහය වී තිබෙන්නේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන වසර 10 ක් 15 ක් අඛණ්ඩව ක්‍රියාවට නංවන ජාතික ප්‍රතිපත්තියක් රටට හඳුන්වාදීමයි. එතුමගේ වචනයෙන් කියනවානම් එය යකඩ ප්‍රතිපත්ති රාමුවක්. ඉතින් අපේ හාමදුරුවනේ ඒ යකඩ ප්‍රතිපත්ති රාමුව මේ වනවිට අප සකස් කර අවසානයි. ” යැයි වජිර උන්වහන්සේගේ පැනයට පිළිතුරු දෙමින් පැවසීය.
එවැනි ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරනවානම් එය ඉතාම හොඳ වැඩක්. එයට අනෙකුත් පක්ෂ හා කණ්ඩායම්වල සහයෝගය ලබාගන්නවානම්, එය වඩාත් ඵලදායී කරගත හැකි බව ධර්මවිජය හිමියෝ පැවසූහ.“එහෙමයි අපේ හාමුදුරුවනේ. මේ වැඩපිළිවෙල ගැන දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකතුමන්ලා ඇතුලු රටේ සියලු පාර්ශව සමග සාකච්ඡා කරනවා. ” යැයි වජිර ප්‍රකාශ කළේය.
“රට විපතට පත්ව තිබෙන මේ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ වටිනාකම අන්කවරදාටත් වඩා ජනතාවට දැනෙනවා. ඒ නිසා එතුමන්ව ආරක්ෂා කරගනිමින් එතුමන්ගේ දැනුම, පළපුරුද්ද හා ජාත්‍යන්තර සම්බන්ධතා රටේ අනාගතය ගොඩනැගීම වෙනුවෙන් යොදාගත යුතුයි. රනිල් මහත්තයාට සමකළ හැකි නායකයෙක් වෙනත් පක්ෂයක නැහැ. එතුමන්ට ජාත්‍යන්තරය සමග අසීමිත සම්බන්ධතා තිබෙනවා. ගරා වැටෙමින් තිබෙන මේ ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළට ඔසවා තැබීමට එතුමන්ට හැකියාව තිබෙනවා. ඒ දැනුමෙන්, හැකියාවෙන්, සබඳතාවලින් ප්‍රයෝජන ගත යුතුයි.” යැයි උන්වහන්සේ පැවසූහ.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධූරය ඔබතුමා වැනි දකුණේ නායකයෙකුට ලබාදීම ගැන මහා සංඝරත්නයේත්, දකුණේ ජනතාවගේත් පැසසුමට ලක්ව තිබෙනවා. නිරතුරුවම නායකතුමත්, පක්ෂයත් ආරක්ෂා කරගනිමින් ගරා වැටී තිබෙන රට ගොඩනැගීම වෙනුවෙන් කැපවීමට ශක්තිය, ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ධර්මවිජය හිමියෝ ප්‍රමුඛ මහා සංඝරත්නය වජිරට ආශිර්වාද පළ කළහ.
මේ අතර සඳුදා සවස රනිල්ගේ නිවසට වජිර ඇතුලු තවත් කිහිපදෙනෙක් රැස්වුනේ කොරෝනා ව්‍යසනය නිසා ජනතාවට මුහුණපෑමට සිදුව තිබෙන පීඩාවන් සහ ඉදිරි පියවරයන් සම්බන්ධව සිය නායකයා සමග සාකච්ඡා කිරීමටය.
එම සාකච්ඡාව පැවැත්වෙන අතරතුර ඒ වනවිටත් කොරෝනා වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ රෝගී තත්ත්වය පිළිබඳවත් තොරතුරු රනිල් ඉදිරිපත් කළේය. “සර්, මංගල ඇමතිතුමන්ගේ රෝගී තත්ත්වය ගැන පසුගිය දින කිහිපය තුළදී වෛද්‍යවරුන්ට කතා කර එතුමන්ලාගේ මාර්ගයෙන් මට තොරතුරු දැනගන්න ලැබුණා. ඒ අනුව මංගල ඇමතිතුමන්ව ක්‍රමක්‍රමයෙන් සුව අතට පත්වෙමින් තිබෙනවා.” යැයි වජිර ප්‍රකාශ කළේය.
“ඔව්, එතුමාගේ රෝගී තත්ත්වය ගැන අපි සොයා බලන්න ඕනේ. එතුමට අවශ්‍ය කරන ඕනෑම උදව්වක් වෛද්‍යවරුන්ගෙන් විමසා ඔවුන් හරහා අප ලබාදිය යුතුයි. පසුගිය සතියේ ඔබතුමාගේ දුරකතනය ඔස්සේ සම්බන්ධ කළ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සමග දීර්ඝ ලෙස මා සකච්ඡා කළා.“ යැයි රනිල් වජිර දෙස බලා පැවසුවේ මංගලගේ රෝගී තත්ත්වය පිළිබඳව නිරතුරුවම වෛද්‍යවරු සමග සාකච්ඡා කර අපෙන් ඉටුවිය යුතු යමක් තිබේනම් එය ඉටුකර දෙන ලෙස පවසමිනි.
රනිල් එසේ ප්‍රකාශ කර තත්පර කිහිපයක් ගත වනවිට වජිර සිය දුරකතනයට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සම්බන්ධ කර ගත්තේය. “ඩොක්ටර්, මම කතා කළේ මංගල සමරවීර ඇමතිතුමාගේ රෝගී තත්ත්වය පිළිබඳව දැන ගැනීමටයි. ” යැයි පැවසූ වජිර අපේ නායකතුමාත්, මාත් සමග සිටිනවා කියමින් එම දුරකතනය රනිල්ට ලබා දුන්නේය. ඒ අනුව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ රනිල් අතර මිනිත්තු කිහිපයක් පැවැති එම දුරකතන සාකච්ඡාවේදී මංගලගේ රෝගී තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කරගත්තේය.
විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සමග පැවැති සාකච්ඡාවෙන් පසු රනිල් මංගලට දුරකතනයෙන් කතා කර මිනිත්තු කිහිපයක් ඔහුගේ සුවදුක් විමසා සිටියේය. එහිදී මංගලගේ මුවින් පිටවූ වදන්වලින් ඔහු සුව අතට පත්වෙමින් සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මංගල සමරවීර මහතාට කොරෝනා වෛරසය වැළඳුනු දා සිට කිහිප වතාවක්ම ඔහුව දුරකතන මාර්ග ඔස්සේ සම්බන්ධ කරගනිමින් සුවදුක් විමසා සිටි වජිර මංගලට කතා කිරීමට නොහැකි දිනවල ඔහුගේ සමීපතමයින්ට හා වෛද්‍යවරුන්ට කතා කර ඒ මාර්ගයෙන් තොරතුරු සොයා බැලුවේය.
සඳුදා සන්ද්‍යාවේ වජිර මංගලට දුරකතන ඇමතුමක් ලබාගත්තේ සුපුරුදු පරිදි ඔහුගේ සුවදුක් දැනගැනීමටය. “කොහොමද මංගල රෝගී තත්ත්වය? නායකතුමත් ඔයාට කතා කළ බව මට කිවුවා.” යැයි වජිර ප්‍රකාශ කළේ මංගල සිය රෝගී තත්ත්වයෙන් සුව වී සතුටින් සිටන බව දැනගත් නිසාය.
“ඔව් වජිර, නායකතුමාත් මීට ටික වේලාවකට කලින් මට කතා කළා. වෛද්‍යතුමන්ලා සම්බන්ධ කරගනිමින් මා ගැන සොයා බැලීමට ඔයාලා ගොඩක් මහන්සි වෙලා තිබෙනවා. තැන්කියු ඔයාලට. දැන් මට සුව අතට හැරෙමින් තිබෙනවා. බය වෙන්න දෙයක් නැහැ. තව ටික දවසකින් එන්න පුලුවන් වේවී.” යැයි මංගල සිය මිත්‍රයාට අවසන් වරට ප්‍රකාශ කළේ තමන් මේ තරම් ඉක්මනින් ජීවිතයෙන් සමුගන්නා බවක් දැන නොසිටි නිසාවෙනි.
අඟහරුවාදා මංගල සමරවීර මහතා සදහටම ජීවිතයෙන් සමුගෙන ඇති බව රනිල්ට දැනගන්න ලැබීය. එය සැලවූ වහා වජිරට දුරකතන ඇමතුමක් ලබාගත් රනිල් ප්‍රකාශ කළේ, “මංගල ඇමතිතුමා මියගිහින්. ඒ පිළිබඳව සොයා බලා අපෙන් ඉටුවිය යුතු කටයුතු සම්බන්ධව අදාළ පියවර ගන්න.” යනුවෙනි.
එම අවස්ථාවේදී චන්ද්‍රකා බණ්ඩාරනායක මැතිණියද දුරකතනය ඔස්සේ වජිරට කතා කර ප්‍රකාශ කර සිටියේ කොරෝනා හේතුවෙන් මිය ගිය මංගල සමරවීර මහතාගේ අවසන් කටයුතු සිදුකිරීම වෙනුවෙන් ඉටුවිය යුතු කටයුතු සම්බන්ධව අදාළ පියවර ගන්නා ලෙසයි. ඒ බව වජිර ඒ මොහොතේම රංගේ බණ්ඩාර මහතාට පැවසීය.
එතැන් සිට අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් ඒ සම්බන්ධව අවශ්‍ය පියවර ගත් වජිර අඟහරුවාදා සවස මංගල මහතාගේ අවසන් කටයුතු සිදුකළ බොරැල්ල කනත්ත ආසන්නයට ගොස් සිය මිත්‍ර මංගල සමරවීර මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කළේය.
මේ අතර බදාදා උදේ 10 ට පක්ෂ නායක රනිල්ගේ ප්‍රධානත්වයෙන් zoom තාක්ෂණය ඔස්සේ රැස්වීමක් පැවැත්විණි. පක්ෂයේ 75 වෙනි සංවත්සරය පිළිබඳ සාකච්ඡා කිරීමට පැවැති මෙම හමුවට රුවන්, වජිර, රංගේ, සාගල ඇතුලු පිරිසක් සහභාගී විය.
එම රැස්වීම ආරම්භ කිරීමට පෙර මංගල සමරවීර මහතාගේ වියෝව සිහිපත් කරමින් හැමෝම එක්ව එතුමට ශෝකය පළ කළහ. අනතුරුව සැප්තැම්බර් 6 වෙනිදාට යෙදෙන එක්සත් ජාතික පක්ෂ 75 වෙනි සංවත්සරයේ වැඩකටයුතු ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වීම හා ඊට අදාළ පියවරයන් සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඒ වැඩසටහන සාර්ථකව සිදුකිරීමට අදාළ තීන්දු තීරණ කිහිපයක් ගනු ලැබීය.