Reader Political Fact – දේශපාලන කොලම

0
By: අශන්ති වරුනසුරිය 
ඇඳිරිනීතිය අන්තිම මොහොතේ දැම්මේ මෙහෙම
මේ මස තිස් වෙනිදා දක්වා රටපුරා ඇඳිරි නීතිය දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය සමග ගම්පහ දිස්ත්‍රික්කය පුරා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටුව තීරණය කළේය.
ඒ පසුගිය සදුදා zoom  තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටුවේ දී ය.
” මීට කලින් වතාවල විදියටම මේ පාරත් කඩ පොළවල් වලට නොගිහින් අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය මිලදී ගන්න ක්‍රමයක් හදන්න ඕනේ” සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.
“මේ ගිය වතාවේ බලපත්‍ර දුන්න අය ඉන්නවා.  ඒ අයටම මේ පාරත් අවසර දෙන්න පුළුවන්” ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා පිළිතුරු දුන්නේ ය.
” දින දහයක් කියන්නේ පොඩි කාලයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ පොඩි කාලෙදි වත්  ජනතාව අපහසුතාවයට පත් නොවන විදිහට කටයුතු සිද්ධ වෙන්න ඕනේ. ඒක සියයට සියයක් කරන්න බැරි වෙයි.බැනුම් අහන්න සිද්දවෙයි. ඒ වුණත් පුළුවන් තරම් ජනතාවගේ පැත්තෙන් හිතලා බලලා කටයුතු කරන එකයි වැදගත්”අමාත්‍යවරයා නැවතත් සඳහන් කළා.
වෙනත් අවස්ථාවලට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීම හේතුවෙන් මෙවර ආසාදිතයින් නිවෙස් නිරෝධායනය සඳහා  යොමු කිරීමට සෞඛ්‍ය අංශ සහ රජය තීරණය කර ඇත. මෙම තීරණය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුවත් නිවෙස් නිරෝධයට යොමු කරන්නේ කෙබඳු පුද්ගලයින් ද යන්න සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදු නොවුණි. මේ හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින්නේ සෞඛ්‍ය අංශ යි. මෙහිදී ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සේවා සෞඛ්‍ය අධ්‍යක්ෂ නලින් ආරියරත්න මහතා ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් පැහැදිලි කළේය.
” නිවෙස් නිරෝධායනයට යොමු කරන්නේ වයස අවුරුදු තුනත්, වයස අවුරුදු 60ත් අතර බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර නොගන්න අයයි. එවැනි කෙනෙක් වුණත් බලාගන්න පුළුවන් කෙනෙක් නිවසේ ඉන්න ඕනේ. දැන් සිද්ධ වෙලා තියෙන්නේ අවදානම් සහිත අයත් නිවෙස් වල ම ඉන්න උත්සාහ කරන එකයි. මේකෙන් සිද්ධ වෙන්නේ ඒ ගෙදර ඉන්න අනිත් අයත් අනාරක්ෂිත වෙන එක.”
“දිස්ත්‍රික්කය ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඉඩපහසුකම් මදිද ” අමාත්‍යවරයා විමසීය .
” නැහැ, අපේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඉඩ තිබුනත් ඒ ස්ථානවලට යන එක සමහරු ප්‍රතික්ෂේප කරනවා. වෛද්‍ය නිරීක්ෂණ යටතේ සිටිය යුතු අයට නිවෙස් නිරෝධායනයට ඉඩදෙන්න බැහැ “
” මේකට යෝජනා කරන්නේ මොකද්ද”
“නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන්නේ පොලිසිය. අපිට පොලිසිය සහාය අවශ්‍ය වෙනවා. “
” මේ වගේ සිදුවීම් වාර්තා වෙන තැන් වලදී පොලිසිය සහය ලබා දෙන්න පුළුවන් නේද නියෝජ්‍ය පොලිස්පති තුමා”
“ඔව් අපි ඒක  කරන්නම්. ඒ වගේ අයට තත්ත්වයේ බැරෑරුම් කම පහදල දීල නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන්න සෞඛ්‍ය අංශවලට  පොලිසිය සහය දෙන්න පුළුවන්” එම රැස්වීමට එක්ව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
මෙතෙක් වාර්තාවී ඇති kovitha ආසාදිත මරණ අතරින් වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 60 ඉක්මවූ සහ මෙතෙක් ප්‍රතිශක්තිකරණ එන්නත්  එක් මාත්‍රාවක් හෝ ලබා නොගත් අයයි. ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදීම ජනාධිපතිවරයා සඳහන් කළේ ඇඳිරි නීතිය පවතින අවස්ථාවේදීම අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත් කරන වැඩපිළිවෙල නොකඩවා ක්‍රියාත්මක කරන බවයි.
” දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත් කරන වැඩපිළිවෙල   නොකඩවා ක්‍රියාත්මක කරන්න ඕනේ. මෙතෙක් එන්නත් නොකල වැඩිහිටියන් සම්බන්ධයෙන් සංඛ්‍යාලේඛන ලබාගෙන එය එන්නත් කරන  වැඩපිළිවෙළක් හදාගන්න ඕනේ ” ඇමතිවරයා කීය
” එන්නත් කරන මධ්‍යස්ථාන වලට  වැඩිහිටියන් ගෙනඑන ක්‍රමවේදයක්  අවශ්‍යයි.” පළාත් සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂවරයා කීය.
” ඒකට පළාත් පාලන ආයතන ආයතනවල සහාය ගන්න පුළුවන්. ඒ විදිහට එන්නත් කරන මධ්‍යස්ථාන වලට ගෙනත් එන්නත් කරන්න බැරි වැඩිහිටියෝ ඉන්න ගෙවල් වලටම ගිහින් ඔවුන්ට එන්නත ලබා දෙන්න පුළුවන්.” ඇමතිවරයා යෝජනා කළේය.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මෙතෙක් එන්න කරනය නොවූ  අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 16677ක් එන්නත්කරන වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර තිබේ .
අමාත්‍ය මණ්ඩල හමුව  මෙවර පැවැත්වුණේ zoom තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
නියමිත වේලාවට අමාත්‍යවරු කැබිනට් හමුවට එක් වෙමින් තිබිණි. ඒ වන විටත් ලබාදී තිබු  “ලින්ක්” එක හරහා අමාත්‍ය මණ්ඩල හමුවට එක්ව සිටි විමල් වීරවංශ අමාත්‍යවරයා තරමක් ලොකු මල් සහිත නිල් සහ සුදු පැහැ කමිසයක් හැඳ සිටියේය.
“විමල් ඇමතිතුමාගේ ෂර්ට් එක හරි ලස්සනයිනේ” සී.බී රත්නායක අමාත්‍යවරයා කීවේය .
“ෂර්ට් එක විතරද ලස්සන,මම ලස්සන නැද්ද”
“නෑ නෑ ඇමතිතුමාත් ලස්සනයි. ඇමතිතුමාගේ ෂර්ට් එකත් ලස්සනයි.” සී.බී රත්නායක අමාත්‍යවරයා සිනහසෙමින් පිළිතුරු දුන්නේ ය.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කර තිබිණි.
කමිටු වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡාව ඇරඹිණි. එහිදී  ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා ” අපි වෘත්තී සමිති එක්ක සාකච්ඡා කළා. සුබෝධනී වාර්තාවට බොහෝ දෙනා එකඟයි. සමහරුන්ට ඒ ගැන ප්‍රශ්න තියෙනවා. කමිටුව දීර්ඝ ව මේ ගැන අධ්‍යනය කළා. එතනදී ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් වෙන්න ඕන කියන මතයේ කමිටුව ඒකමතිකව සිටිනවා. ඒ වගේම මීට ලබා දෙන විසඳුම නිසා වෙනත් රාජ්‍ය නිළධාරින්ගේ වැටුප් විෂමතා සිදු නොවිය යුතුයි කියන ස්ථාවරයෙත් ඉන්නවා.”කීවේය.
” ඒ වගේම ඉතා ඉක්මනින් වැටුප් වැඩිවීම වැඩි වීම සිද්ද වෙන්න ඕනේ. ඉදිරි අයවැයෙන් ඒ සඳහා වැඩපිළිවෙළ යෝජනා කරලා ඒ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව රටට පැහැදිලි කිරීමක් කරන්න වෙනවා” විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසීය.
එම සාකච්ඡාවට එක්වෙමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා ”  අන්තිම මොහොතේ තමයි අපිට කමිටු වාර්තාව ලැබුණේ. ඒ නිසා වාර්තාව අධ්‍යයනය කරන්න වෙලාවක් තිබුණෙ නැහැ.” කීවේය.
වාර්තාව ප්‍රමාද ප්‍රමාද වීම සම්බන්ධයෙන් එහිදී එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා “අනු කමිටු වාර්තාව අපිට ලැබුණෙත් හවස දෙකට විතර. මේ වාර්තාව ඉදිරිපත් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් තියෙන නිසයි අද මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ”කීවේය.
” ඔව්. කමිටුව පුළුවන් ඉක්මනින් මේ වැඩේ නිම කලා. ඒ මේ ප්‍රශ්නය හැකි ඉක්මනින් ඉවසීමේ අවශ්‍යතාවය තියෙන නිසයි”
”  මේකට අදාළ අනෙකුත් වාර්තා දුන්නොත්  මේ වාර්තාව හොදට අධ්‍යනය කරලා ඊළඟ සතියේ අමාත්‍ය මණ්ඩල හමුවට කරුණු දක්වන්න පුළුවන්” උදය ගම්මන්පිල අමාත්‍ය වරයා නැවතත් පැවසීය.
” අපි කතා කරන්න මේ රටේ දරු දැරියන්ගේ ප්‍රශ්නයක්. ගුරුවරුන්ගේ ප්‍රශ්නය මේකඇතුලෙ තිබුනට දරුවන්ගේ අනාගතයයි මේ ඇතුළෙ තියෙන්නෙ. දිගින් දිගටම කල් දැමීම නම් සුදුසු නෑ ” විමල් වීරවංශ අමාත්‍යවරයා නැවතත් සදහන් කළේය.
” ඒ කතාව අපි පිළිගන්නවා. ප්‍රශ්නය කල් දැමීම සුදුසු නැහැ. නමුත් මේ හරහා යළි අර්බුදයක් නිර්මාණ නොවන විදිහට කටයුතු කරන්නත් ඕන. ඒ ගැනත් අපි මෙතනදි සලකා බලන්න වෙනවා” මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කීවේය.
” අනිත් වාර්තාත් ඉදිරිපත් වුණොත් මේ ගැන ඊළඟ කැබිනට් එකේදි නිසි තීරණයක් ගන්න පුළුවන් වෙයි ” රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා ද කීවේය.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ” සියලු වාර්තා ඉදිරිපත් කරන්නම්. මේක හොඳින් අධ්‍යයනය කරලා තීරණ ගන්න ඕන කාරයක්. මේකට නිසි විසඳුමක් ඉදිරිපත් කරන්න ඕනේ” කීවේය.
” එහෙම නම් අදාල ලිපි ලේඛන වාර්තා අධ්‍යනය සඳහා අධ්‍යාපනය මැතිතුමා ම ඉදිරිපත් කරානම් හොඳයි.” අමාත්‍යවරයා කීවේය.
මේ අවස්ථාවේදී  අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා සියලුම අමාත්‍යවරුන්ගෙන්  විශේෂ ඉල්ලීමක් කලේය. ”  අමාත්‍ය මණ්ඩල හමුවේදී තීරණ අරගෙන ඊට පස්සේ මාධ්‍ය වෙත මාධ්‍ය වෙත ඊට වෙනස් ප්‍රකාශ නිකුත් කිරිම නිසා අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය අපහසුතාවයට පත්වෙනවා. මේ ගැන සැලකිලිමත් වෙන්න කියලා ඉල්ලීමක් කරනවා”
අවසානයේ විදුහල්පති ගුරු ගැටළුව සම්බන්ධයෙන් එලැබෙන සඳුදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේදී  අවසන් තීරණයකට එළඹ ඒ සම්බන්ධයෙන් රට හමුවේ ප්‍රකාශයක් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.
ඇඳිරි නීතිය යෙදීම නිසා  ජීවනෝපාය අහිමි වන පුද්ගලයින් සඳහා රුපියල් 2000 ක දීමනාවක් ලබාදීමට  අදාළ කැබිනට් පත්‍රිකාවක් මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබිණි.
” රුපියල් දෙදහසේ දීමනාව පවුල් ලක්ෂ දාහත කට දෙන්න තියෙනවා”මුදල් අමාත්‍යවරයා කීවේය.
” ඔය කියන ලක්ෂ 17 ඇතුළෙ නිවැරදිවම දීමනාව ලැබිය යුතු පිරිස පිරිස ද ඉන්නේ ” වාසුදේව අමාත්‍යවරයා විමසීය.
” ඔව්. පසුගිය සැරේ දී අපි පවුල් ලක්ෂ 60 ක ට විතර පන්දහසේ දීමනාව දුන්නා. ඒ වෙලාවෙදි garments වහලා. අනිත් කර්මාන්තශාලා වහලා. ඒත් පවුල්වලටත් ආදායම් අහිමි වෙන නිසා දීමනාව ලබා දුන්නා. මෙවර කර්මාන්තශාලා වැඩ. ඒ නිසා ඒ අයට දීමනාව ලැබෙන්නේ නැහැ. ඇත්තටම ජීවනෝපාය අහිමි වෙලා ඉන්න කට්ටියට තමයි මේ පාර දෙන්නෙ” ඇමැතිවරයා පැහැදිලි කළේය.
නිරෝධායනයට ලක්කරන පවුලට රුපියල් දස දහසේ බඩු මල්ලක් ලබා දීම සම්බන්ධයෙන් මෙවර අමාත්‍ය මණ්ඩල හමුවේදී විශේෂයෙන් සාකච්ඡා විය.
” අපි දන්න අතිරේක ලේකම් වරයෙකුගේ ගෙදරටත් මේ කියන අත්‍යවශ්‍ය බඩු මල්ල ලැබිලා” මුදල් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
” ඇත්තටම අත්‍යවශ්‍යම අඩු ආදායම් ලාභීන්ට මේ බඩු මල්ල ලැබෙන ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ” වාසුදේව නානායක්කාර පැවැසීය.
” මටත් බඩු මල්ල ලැබුණා. මම ආයෙත් ඒ බඩු මල්ල යැව්වා” මහින්දානන්ද අලූත්ගමගේ ඇමතිවරයා කීය.
” මට ලැබුනෙ නෑ නේ ” විමල් වීරවංශ පැවසීය.
” ඒ කියන්නේ ඔබතුමා එක්ක ප්‍රාදේශීය ලේකම් තුමාගේ මොකක් හරි ආරෝවක් ඇති ” වාසුදේව නානායක්කාර ඇමතිවරයා සිනහසෙමින් පැවසීය.
ඊට සිනහවෙන් පිළිතුරු දුන් විමල් වීරවංශ ” ඒක තමයි මමත් මේ බැලුවේ. මට විතරක් ඇයි එහෙම කලේ. ඒක වෙනමම හොයලා බලන්න වෙන කාරණයක් ” කීවේය.
අමාත්‍ය මණ්ඩලයේ දෛනික කටයුතු අවසන්වීමෙන් පසුව රෝහිත අබේගුණවර්ධන මහතා ඇමතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
” කැබිනට් තීරණ ගැන මුළු රටම බලන් ඉන්නවා. ගිය සතියේ රට අඟුලු දැමීම ගැන කැබිනට් එකේදි කතා කරා. එතැනදි තීරණය වුණේ ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් කරලා විශේෂඥයින් සමග සාකච්ඡා කරලා ඊට පස්සේ තීන්දුවක් ගන්නයි. හැබැයි ඒ තීන්දු අරන් පැය 24 ක් යන්නත් කලින් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ගරු ඇමතිවරු තිදෙනෙකුත් අත්සන් කරලා රට අඟුළු දාන්න කියලා ජනාධිපතිවරයාට ලිපියක් දුන්නා. මෙම ලිපිය වීමේ ගැටලුවක් නැහැ. හැබැයි ඒ ලියුම ජනාධිපතිතුමා කියවලා සාකච්ඡා කරන්න  කලින් මාධ්‍යයට නිකුත් වෙනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ එතන. එතකොට එලියේ අය හිතන්නේ  අමාත්‍ය මණ්ඩල ඇතුළෙ ප්‍රශ්නයක් කියලයි. අමාත්‍ය මණ්ඩලයේ එකමුතු බව පෙන්වන්න ඕන වෙලාවක සාමූහික වගකීම චෙක් කරන්න කියලා ඉල්ලනවා. ඉදිරියේදී මෙවැනි සිටි සම්බන්ධයෙන් දැඩි තීරනයක ඉන්න ඕනේ කියලා විශ්වාස කරනවා අගමැති තුමනි”
“ඔය කියන ලියවිල්ලට මම අත්සන් කරේ නැහැ. ඔය ලියවිල්ල මම දැක්කෙත් මාධ්‍යයෙන්. හැබැයි සාමූහික එකඟතාවය රකින්න ඕනේ කියන තැන මමත් ඉන්නවා” ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා අමාත්‍යවරයා ඊට පිළිතුරු දුන්නේය.
“ඒක ඇත්ත. මමත් සම්පූර්ණයෙන් එකඟයි. අමාත්‍ය මණ්ඩලයේ සාමූහික එකඟතාවයක් නෑ කියලා හිතෙනවා. එහෙම හිතලා අනිත් පාර්ශවයන්  එක එක ප්‍රකාශ කරනවා.ඊට පස්සේ මාධ්‍යත් ඒ ගැන ප්‍රශ්න කරනවා. ” එස් එම් චන්ද්‍රසේන අමාත්‍යවරයා ද කීය.
මේ අවස්ථාවේ එම ලිපියට අත්සන් තැබුවා කියන විමල් වීරවංශ අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල හමුවෙන් ඉවත් ව සිටියත් වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල ඇමතිවරුන් අමාත්‍ය මණ්ඩල හමුව සමඟ එක්ව සිටියහ. නමුත් ඔවුන් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නොකළේය .
එහිදී අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ ” ඔව් අපි ඉදිරියේදී මේ වගේ සිද්ධි වලදි මීට වැඩිය වගකීමෙන් කටයුතු කරමු” යනුවෙනි.
ඉකුත් සතියේ මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් අග්‍රමාත්‍යවරයාද කම්පාවිය.
එම  මරණය සම්බන්ධයෙන් අග්‍රමාත්‍යවරයාට දැනුම් දෙන්නේ අතිරේක ලේකම්වරයෙකි. ” මංගලගේ මරණය අපේ මිනිස්සුන්ට ආදර්ශයක්. සමහරු හිතනවා බලය තියෙනවා නම් මුදල් තියෙනවා නම්  සෞඛ්‍ය පහසුකම් ලබා ගන්න පුළුවන් කියලා. කොවිඩ්  කියන්නේ එහෙම දෙයක් නෙමෙයි.  සෞඛ්‍යය උපදෙස් නිසියාකාරයෙන් පිළිපැදලා රෝගයෙන් වැලකෙන එකයි මේ වෙලාවේ කරන්න තියෙන්නේ. ” අග්‍රාමාත්‍යවරයා කණගාටුවෙන්  පැවසීය.