ලංකාව කොවිඩ් මරණ 8000ත් දෛනික මරණ 200 ඉක්මවයි

0
(26) දින තවත් කොවිඩ් මරණ 209ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ එය ලංකාවේ මෙතෙක් වාර්තා වූ දෛනික වැඩි ම කොවිඩ් මරණ ප්‍රමාණය ලෙස සඳහන් වේ.
ඒ අතර කාන්තාවන් 101ක් සහ පිරිමි 108ක් වෙති. අවු. 60ට වැඩි මරණ 163ක් සහ 30-59 වයස් කාණ්ඩයේ 46ක් ඒ අතර වෙති. ඒ සමඟ ලංකාවේ සමස්ත කොවිඩ් මරණ 8157ක් බවට පත්ව තිබේ.
 රට විවෘත කළ විට වගකීමෙන් හැසිරෙන්නැයි  අගමැති කියයි 
මේ වන විට රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වයෙන් රට බේරා ගැනීම සඳහා මේ මොහොතේ ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ අවධාරණය කරයි.
දීර්ඝ කාලීනව රට වසා තැබීම ප්‍රායෝගික ක්‍රියාවක් නොවන බවත් ඒ අනුව රට යළි විවෘත කරන අවස්ථාවේදී ජනතාව ද වඩාත් වගකීමෙන් කටයුතු කළයුතු බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ පැවසුවේය.
සෞඛ්‍ය, ආරක්‍ෂක ඇතුළු කොරෝනා මර්දන කටයුතුවලට එක්ව සිටින ප්‍රමුඛ පෙළේ කණ්ඩායම දිවි දෙවනි කොට තබා මේ වන විට සිය කාර්යභාරය ඉටුකරමින් සිටින බවත් ජනතාවට ද රට වෙනුවෙන් සිය සහය පළ කිරීමට මෙය හොඳම අවස්ථාව බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ වැඩිදුරටත් සඳහන් කළේ ය.
ලංකාවේ කාර්ඩ්බෝඩ් මිනී පෙට්ටි ජාත්‍යන්තර අවධානයට
කොරෝනා වයිරසය රට තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග ශ්‍රී ලාංකිකයන් දැන් මෘත දේහ ආදාහනය කිරීම සඳහා කාඩ්බෝඩ් මිනී පෙට්ටි භාවිත කිරීම ආරම්භ කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.
එම වාර්තාවට අනුව දෙහිවල ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක මෙම කොවිඩ් මිනී පෙට්ටි නිෂ්පාදනය කරන අතර කොවිඩ් වයිරසය ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන් වෙනුවෙන් දැන් ඔවුන්ගේ ඥාතීහු මෙම මිනී පෙට්ටි රැගෙන යමින් සිටිති.
මෙම මිනී පෙට්ටි ප්‍රතිචක්‍රීකරණය කරන ලද කඩදාසිවලින් තනා ඇත. දැනට වෙළෙඳපොලේ ඇති ලාභදායීම ලී වර්ගයෙන් නිෂ්පාදනය කරන ලද මිනී පෙට්ටියකට වඩා පහෙන් එකක් අඩුවෙන් මේවා මිලදී ගැනීමේ හැකියාව පවතින බව මෙම ආයතනයේ හිමිකරු 51 හැවිරිදි ප්‍රියන්ත සහබන්දු ප්‍රකාශ කර තිබේ. රට තුළ කොවිඩ් මරණ ඉහළ යත්ම සමහරු සිය ආදරණීයයන් ආදාහනය කිරීම සඳහා මෙම කාඩ්බෝඩ් පෙට්ටි තොරා ගන්නා බව ඔහු පැවසුවේය.
ඔහු පවසන්නේ සාමාන්‍යයෙන් රුපියල් 30,000 ක් පමණ වන මිනී පෙට්ටියක් ලබා ගැනීමට යොමුවන පුද්ගලයකුට රුපියල් 4500 ක් වැනි මිලකට කාඩ්බෝඩ් මිනී පෙට්ටියක් ලබාගත හැකි බවයි. කිලෝ ග්‍රෑම් 100 ක් එනම් රාත්තල් 220 ක් දක්වා මෙම මිනී පෙට්ටියකට බර දරා සිටීමේ හැකියාව පවතී.
මුලින්ම මෙම මිනී පෙට්ටි කොරෝනාවට ගොදුරු වූවන් වෙනුවෙන් පමණක් බාවිත කර ඇති නමුත් දැන් දැන් පරිසරය පිළිබඳ සැලකිලිමත් වන්නන් අතරද මෙය ජනප්‍රිය වී ඇත. 2020 ආරම්භයේ සිට මේ දක්වා මෙම කර්මාන්තශාලාවෙන් කාඩ්බෝඩ් මිනී පෙට්ටි 350 ක් පමණ ලබා දී ඇති අතර මේ වන විට තවත් 150 ක පමණ කටයුතු නිම කරමින් පවතී.