තලෙයිබානුවන් පිළිගැනීම ත්‍රස්තවාදය නැවත ඇති කිරීම – වජිර

0
By: මේඝා චින්තාමණි 
කාබුල් නගරයේ තිබෙන අපේ තානාපති කාර්යාලය වහා ඉවත් කළ යුතු බවත් ඒ ආසන්නයේ ඇති වෙනත් රටකට ගෙනයා යුතු බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
තලෙයිබානුවන් පිළිගැනීම ත්‍රස්තවාදය නැවත ඇති කිරීම විය හැකි බවත් ඇෆ්ගනිස්ථානයෙන් මීට ඉහත අවස්ථාවලත් තෙලයිබානුවන් යම් යම් ප්‍රදේශ පාලනයන් කරමින් තිබූ අවස්ථාවලදී බාමියන් බුදු පිළිම කඩා බිඳ දමා විනාශ කළ බව මුළු ලෝක ප්‍රජාවම දන්නා කාරණයක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
මේ ගැන වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා,
ජිහාඩ්වාදී, ත්‍රස්තවාදී කණ්ඩායම් ගණනාවක් ඇෆ්ගනිස්ථානය තුළත් ක්‍රියාත්මක වී ඇති බව ඉතිහාසයේ කරුණු පවතිනවා. විශේෂයෙන් ඇමරිකාවේ එක්තරා අවස්ථාවකදී සිදු වූ මහා ප්‍රහාරය සිදු කළ අල්කයිඩා සංවිධානය ක්‍රියාත්මක වුනේද ඇෆ්ගනිස්ථානය තුළයි. එවන් පරිසරයක් තුළ ශ්‍රී ලංකාවේ සහ ලෝකවාසී මුස්ලිම් ප්‍රජාව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිටු දකින උදවියයි. ශ්‍රී ලංකාවේද ප්‍රධාන මුස්ලිම් ජන කොටස වන්නේ සුසී මුස්ලිම් පිරිසයි. මෙම ත්‍රස්තවාදී කණ්ඩායම්වල ප්‍රධාන අරමුණ නම් ආගමික කණ්ඩායම් වැරදි ලෙස සැළකීම හා නොපිළිගැනීම, අනෙකුත් සංස්කෘතීන් නොඉවසීම හා නොපිළිගැනීම, මානව අයිතිවාසිකම් ගරු නොකිරීම, විවිධ ආගම්වලට ගරු නොකිරීම, නිරාගමික බවට එරෙහි වීම හා ප්‍රචණ්ඩකාරී වීම ඔවුන්ගේ ක්‍රියා පිළිවෙතයි.
අල්කයිඩා, තලෙයිබාන්, ISIS වැනි අන්තවාදී ත්‍රස්තවාදීන්. අල්කයිඩා, තලෙයිබාන්, ISIS  හා මැද පෙරදිග සටන් කරනු ලබන අන්තවාදීන්ද මෙම අන්ධ දහම් භක්තිකයන්ය. මෙවන් පරිසරයක් තුළ ඇෆ්ගනිස්ථානය තුළ වර්ථමානයේ ඇති වී තිබෙන තත්ත්වය තුළ සිදුවන්නේ වක්‍ර මාර්ගයෙන් වුවද ත්‍රස්තවාදය පෝෂණය කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්වීමයි.
මෙම ක්‍රියාදාමය තුළින් එය ප්‍රධාන වශයෙන් බලපාන්නේ මුස්ලිම් රටවලටයි. විශේෂයෙන් යූහී වගේ සම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ අනාගතයට බලපානවා. කෙසේ හෝ මා දුටුවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද එම රට තුළින් ඉවත් වෙනවා කියලා දැනුම් දීලා තිබෙනවා. ඒ ගැන අපි නැවත සිතා බැලිය යුතුව තිබෙනවා.
ඇෆ්ගනිස්ථානය කියලා කියන්නෙ ලෝකයේ විශාලම ලිතියම් තැන්පතුවක් තිබෙන රටක්. එවැනි පරිසරයක් තුළ මෙවැනි ක්‍රියාදාමයන් පිළිබඳ ආසියාතික රටවලුත්, ශ්‍රී ලංකාවත් ඉතා කල්පනාකාරීව ක්‍රියා කළ යුතු අවස්ථාවකයි අප සිටින්නේ.
ඒ අනුව රජය මේ පිළිබඳ ශ්‍රී ලාංකික ප්‍රජාව ගැනත්, ලෝකවාසී දේශපාලන තත්ත්වය පිළිබඳවත් ඉතා කල්පනාකාරිව අවබෝධයෙන් ක්‍රියා කළ යුතු අවස්ථාවකට ශ්‍රී ලංකානු රජය ද මුහුණ දී සිටිනවා.
ඒ වගේම ඒ අය රට තුළ යම් යම් කොටස් පාලනය කරන අවස්ථාවල කාන්තා  අයිතිවාසිකම්  බිඳ දමා තිබූ  අයුරු ඉතිහාසය සාක්ෂි දරණු ඇත.  කාන්තාවන් පාසල් වල අධ්‍යාපනය ලැබීම අවශ්‍ය නොවන කාරණයක් ලෙස ඔවුන් මූලික වශයෙන් බොහෝ අවස්ථාවල ක්‍රියාකර තිබෙනවා.
මලාලා යුසෆ්සායි කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළා.
ඒ නිසාම තමයි එක්තරා අවස්ථාවක මලාලා යුසෆ්සායි නැමැති සිසුවියක් පාකිස්ථානයේ සිට අධ්‍යාපනය ලබන අවස්ථාවේදී දිගින් දිගටම කාන්තාවන් අධ්‍යාපනයට මුල් තැන දී ක්‍රියා කළ යුතු බවට සටන් කළා. ඇයට වෙඩි  තැබුවේද මෙම ගරිල්ලා සංවිධානයට අයත් අය විසිනි. ඇය එයින් ජීවිතය ගලවා අත් අතර, පසුකාලින ඇයට නොබෙල් තෑග්ගද හිමි වුණා. ඉන්පසු ඇය ඇමරිකාවට රැගෙන ගොස් ආරක්ෂිතව තබා ගැනීමට ද කටයුතු කළා.
වර්තමානයේ බලය අල්ලා සිටින ත්‍රස්තවාදී කණ්ඩායම ප්‍රකාශ කරන්නේ ඉස්ලාමී නීතිය යටතේ කාන්තාවන්ට සළකන බවයි. ප්‍රශ්නය තිබෙන්නේ ඉස්ලාමී නීතිය යුනුවෙන් ඔවුන් හඳුන්වා දී තිබෙන්නේ කුරානය වැරදි අයුරින් අර්ථකතනයකොට ඔවුන්ට අවශ්‍ය පරිදි සකස් කර ගැනීමේ ක්‍රියා පිළිවෙතක් ලෙසයි. කාන්තා අයිතිවාසිකම් වහලුන් ලෙස පාලනය කරන තත්ත්වයට ක්‍රියා කරන සහ කාන්තාවන් පිළිකුල් සහගතව දකින කණ්ඩායමක් ලෙසයි අප දකින්නේ. කාන්තාවන්ට තම අයිතිවාසිකම් ලැබිය යුතු ලෝකයේ, කාන්තාවන්ගේ අධ්‍යාපනයට මුල් තැන ලැබෙන ලෝකයේ මේ අයගේ ක්‍රියාදාමය මුළු ලෝක ප්‍රජාවටම තර්ජනයක් බව අප කල්පනා කළ යුතුය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළ පරිදි කාබුල් නගරයේ අපේ තානාපති කාර්යාලය වහා ඉවත් කර ගත යුතුයි.
එමෙන්ම ලෝකයේ නීත්‍යානුකූල මුදල් තැන්පතුවක්ද තිබෙන මෙම ත්‍රස්තවාදී සහිරා කණ්ඩායම පාලනයට පැමිණීම මුළු මහත් ලෝක ප්‍රජාවටම තර්ජනයක් ලෙස සැළකිය යුතු අවස්ථාවක අප පසුවනවා. මේ තර්ජනය ගැන අපද කල්පනාවෙන් ක්‍රියා කළ යුතුව තිබෙනවා. එම නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළේ කාබුල් නගරයේ අපේ තානාපති කාර්යාලය වහා ඉවත් කර ගත යුතු බව. එම තානාපති කාර්යාලයෙන් සිදු කළ කාර්යයන් සිදු කර ගැනීම සඳහා ඒ අවට ඇති රටක එය ස්ථාපනය කිරීමට හැකියාව තිබෙනවා.
ඉතිහාසයේ බාමියන් බුදු පිළිම කඩා බිඳ දැමුවේ මෙවැනි අයයි.
ඒ අනුව ක්‍රියාකිරීම වැදගත් කියලයි අප කල්පනා කරන්නේ. විශේෂයෙන් බාමියන් බුදු පිළිම කඩා බිඳ දමා ඉවත් කළ ත්‍රස්තවාදී කණ්ඩායමක පාලනය ලෝක බෞද්ධ උරුමයන් තිබෙන ශ්‍රී ලාංකික බෞද්ධයන් ලෙස අප පිළිකුල් සහගතව හෙළා දැකිය යුතුයි කියා මා විශ්වාස කරනවා. ශ්‍රී ලාංකික සියළු ප්‍රජාවන් මේ ගැන අවධියෙන් ක්‍රියා කළ යුතු බවද මේ අවස්ථාවේදී සිහිපත් කිරීමට කැමැත්තෙමි.
විශේෂයෙන් කොරෝනා වසංගතයට මුහුණ දෙන ලෝකයේ තවත් තර්ජනයකට මුහුණ දීමට සිදු වීම බරපතල ඛේදජනක තත්ත්වයක් බවද අප සියලු දෙනා කල්පනා කළ යුතු වෙනවා. එබැවින් ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවට ඇතිවන ත්‍රස්තවාදය පාලනය කර ගැනීම සඳහා සියලු දෙනා කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි කියා මතක් කරන්න කැමතියි.