ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටළුවට කමිටුවක්

0
ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටළුවට ප්‍රායෝගික විසඳුමක් ලබාදීම වෙනුවෙන් රජය කටයුතු කරනවා- අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල
රජයක් වශයෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව තේරුම් ගෙන ඇති බවත්, ප්‍රායෝගිකව ඒ සඳහා විසඳුම් සෙවීමට රජය කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ගුරු වැටුප් විෂමතාව සම්බන්ධයෙන් දරුවන්,දෙමාපියන් ඇතුළු සියළුම ජනතාව දැනුවත් කිරීම රජයේ යුතුකම බව කියා සිටියේ,අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු වූ රිචඩ් පතිරණ මහතා 1994 වර්ෂයේදී,ගුරු වැටුප් වැඩි කිරීමේ ප්‍රථම පියවර ගත් ගෙන ඇත. එතෙක් ඉතා සුළු වේතනයක් ලැබූ ගුරු වැටුප අමාත්‍යවරයා විශාල ලෙස ඉහළ දමා තිබේ. සමාජය නිවැරදි මගට ගෙන යන ගුරු දේවයන්ට සැළකිය යුතුය යන මතය තුළ හිඳිමින් එවකට පැවති රජය සහ අමාත්‍යවරයා, නොයෙකුත් පීඩනයන් මධ්‍යයේ එකල පැවති ගුරු වැටුප් විශාල ප්‍රමාණයකින් වැඩි කිරීමට කටයුතු කර ඇත. අනතුරුව 1997 වර්ෂයේදී පිහිටුවන ලද බී.සී. පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් වැටුප් කොමිසම රාජ්‍ය සේවාවන්ගේ වැටුප් වැඩි කළද ඊට සාපේක්ෂව ගුරුවරුන්ගේ වැටුප වැඩි කිරීමක් සිදු නොවුණි. බී.සී. පෙරේරා කොමිසම නිකුත් කරන ලද අංක 2/97/3 දරන චක‍්‍රලේඛයට අනුව ගුරු-විදුහල්පති වැටුප් ඉදිරියේදී වැඩිකරන බව ප‍්‍රකාශ කර තිබුණි. එහෙත් එය ක‍්‍රියාත්මක වුණේ නැත. එතැන් සිට මෙම ගුරු වැටුප් විෂමතාව ආරම්භ වූ බව අමාත්‍යවරයා පැහැදිළි කළේය.
කෙසේ වෙතත්, 2018 සැප්තැම්බර් මාසයේදී එස්. රනුග්ගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම ගුරු හා විදුහල්පති සේවාවන්ට අදාළව වැටුප් විෂමතාවක් ඇති බව හඳුනාගෙන ඇත. එහෙත් මෙම විෂමතාව සම්බන්ධයෙන් මෙතෙක් පැවති කිසිදු රජයක් අවධානය යොමු කර නැත.
වසර විසි හතරකට පසුව හෝ මෙම වැටුප් විෂමතාව විසඳීමේ දැඩි අවශ්‍යතාව රජයට පැවති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම වැටුප් විෂමතා ගැටළුව විසඳීම සම්බන්ධයෙන් මැතිවරණ ප්‍රකාශනයකට ප්‍රථම වරට ඇතුළත් කළේ වත්මන් රජය විසින් බව පෙන්වා දුන්නේය. එහෙත් රාජ්‍ය බලය ලබා ගන්නා විට මෙලෙස ආර්ථික අවපාතයකට රට මුහුණ නොදුන් බවත් මෙවැනි වසංගත තත්වයක් ලෝකය පුරා නොතිබූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ සඳහා ඇති අපහසුතා පැහැදිළිවම පෙන්වා දෙන බව පැවසූ අමාත්‍යවරයා, මෙම ගුරු උද්ඝෝෂන මෙහෙයවන කිසිවෙක් වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් පැවති රජයන් සමඟ සාකච්ඡා සිදු නොකළ බවද අවධාරණය කළේය.
වත්මන් රජයේ හිටපු අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාද ගුරු වෘත්තිය සංවෘත සේවාවක් බවට පත් කිරීමේ කැබිනට් පත්‍රිකා ව ඉදිරිපත් කළ බවද , ඒ අනුව කැබිනට් මණ්ඩලය එම පත්‍රිකාව අනුමත කළ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම ගුරු වෘත්තියේ ඇති ගරුත්වය හඳුනාගෙන රජය එසේ කළ බව අමාත්‍යවරයා කීය.
රට තුළ ව්‍යාප්ත වූ කොවිඩ් ව්‍යසනය හමුවේ වුවද,ලක්ෂ පහළොවක් පමණ වූ රාජ්‍ය සේවකයන්ගේ වැටුප එකදු සතයක් හෝ අඩු නොමැතිව රජය ගෙවන බවත් එදිනෙදා ජීවිතය ගෙනයාමට අපහසු අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් රුපියල් බිලියන 286ක් වෙන් කරමින් තුන් වරක් රුපියල් 5000 දීමනාව ලබා දුන් බවද කීය.
ලෝකයේ එන්නත්කරණය සම්බන්ධයෙන් රජය ඉතා ඉදිරියෙන් සිටින බවත් එහෙත් ලෝකයේ දියුණුම රටවල් පවා මෙම නව කොවිඩ් ප්‍රභේද හමුවේ අසරණ වී සිටින බවය.
මෙම උද්ඝෝෂනකරුවන් පළමුව විරෝධය පලකළේ, කොතලාවල පනතට බවත් මෙම ගැටළුව විසඳනවා, යන මතයේ සිටියදීත් කිහිප දෙනෙකු එක් වී අරගල මෙහෙය වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රජය ඉතා ස්ථාවරව මෙම ගැටළුව විසඳිය යුතුය යන මතයේ සිටින බවද කීය.
ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීම සඳහා අධ්‍යයනය කර යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරු සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් කැබිනට් මණ්ඩලය විසින් පත්කර තිබේ.
මෙම කමිටුව සඳහා අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් පත්කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.