ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ද සීග්‍රයෙන් ඉහළ යද්දී පැවැත්වූ දේවාපූජා

0
ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ ගෙවුණු දින 10ක කාලය තුළ ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 75 කින් ඉහළ ගොස් ඇත.
පසුගිය ජූලි 19 වනදා සිට ජූලි 28 වනදා දක්වා දින 10 සැලකීමේදී ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව දළ වශයෙන් දෛනිකව 227 ත් 409 ත් අතර පරාසයක පැවැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවල දැක්වේ. ඒ අනුව එම දින 10 තුළ ඔක්සිජන් අවශ්‍ය වූ රෝගීන්ගේ සාමාන්‍ය අගය 291 ක් පමණ විය.
කෙසේවෙතත් එම අගය ක්‍රමයෙන් ඉහළ යමින් ජූලි 29 වනදා සිට අගොස්තු 07 වනදා දක්වා දින 10 තුළ ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 441 ත් 602 ත් අතර පරාසයක් දක්වා වර්ධනය වීම සැලකිය යුතු තත්ත්වයකි. එම දින 10 තුළ ඔක්සිජන් අවශ්‍ය වූ රෝගීන්ගේ සාමාන්‍යය 509 දක්වා ඉහළ ගොස් තිබේ. එය පෙර දින 10ට සාපේක්ෂව සියයට 75ක පමණ වර්ධනයකි. සෞඛ්‍ය අමාත්‍යාශයේ දත්ත අනුව (07) දිනය වනවිට ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව 602 දක්වා වර්ධනය වී තිබුණි.
ඉදිරි සති දෙක වඩාත් අවදානම් බව අමාත්‍ය චන්න ජයසුමන මහතා අප කල විමසුමට පිළිතුරු දුන්නේය. එමෙන්ම මේ මොහොතේ උත්සව සාද නවතා දමා සම්පුර්ණයෙන් සෞක්‍ය නීති රීති වලට අවනත වන ලෙසටද ඔහු ජනතාවගෙන ඉල්ලයි. එමෙන්ම පේදුරුතුඩුව ප්‍රදේශයේ දැනට පවතින දැඩි කොවිඩ් අවදානම හමුවේ පුද්ගලයන් දෙදහසකට අධික පිරිසක් නිවෙස්හි නිරෝධායනය වෙමින් සිටිති.
එවන් අවස්ථාවක විශාල පිරිසක් කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ නියමයන් සියල්ල උල්ලංඝනය කරමින් පේදුරුතුඩුව සුපර්මඩම් ප්‍රදේශයේ මුනියප්පර් සහ සිවන් හින්දු කෝවිල් දෙකෙහි පැවැත්වූ වාර්ෂික දේව පූජාවන් හේතුවෙන් එම කෝවිල් ඊයේ (08) සිට දින 14කට මුද්‍රා තැබීමට පේදුරුතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසුවේය. අදාළ කෝවිල් දෙකේ භාරකාර මණ්ඩලයන් විසින් ගත් තීරණයක් මත නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මෙම පූජාවන් පැවත්වීමට පියවර ගෙන ඇත.