අපි කොච්චර බයෙන් ද ඉන්නේ. කොවිඩ් ගෙනා මොචරි ඛේදවාචකය

0
By: අශන්ති වරුනසුරිය
දිවයින පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට ජීවිත විශාල ප්‍රමාණයක් සිය සමීපතමයින්ට අහිමිව ගොස් තිබේ. ඒ අතර රෝහල්වල ද දෛනිකව මෘත දේහ ගොඩ ගැසෙමින් පවතින අතර, එය සියලුදෙනා කම්පනයට පත්කිරීමට හේතුවී ඇත.රෝහල්වල මෘත දේහ ගොඩගැසී ඇති අයුරු දැක්වෙන දර්ශන පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
දැඩි තදබදයකින් යුතුව මල සිරුරු ගොඩ ගැසී තිබුණු රාගම රෝහලට මේ වෙන විට සැලසුමක් සකස් කර ඇති බව ග්‍රාමීය මාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසුවේය. අපසිදු කල විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දීර්ඝ කාලීනව සැලසුමක් නොමැතිකමින් මෙවන් තත්වයක් උද්ගතවී ඇති බවය.
මෝචරි වල මෙතෙක් භාර නොගත් මල සිරුරු ද තිබෙන බව පේනවා දෙන අමාත්‍යවරයා පවසන්නේ කොවිඩ් නොවන එවන් මල සිරුරු 42ක් පමණ රාගම රෝහලේ තිබූ බවත් එම සිරුරු දත්ත අද අධිකරණයට ඉදිරිපත් කරන බවය. තවද වාර්තා වූ කොවිඩ් සිරුරු 40ක් පමණ ප්‍රමාණයක් මේ වන විට නිදහස් කර ඊට අවශ්‍ය අවසන් කටයුතු සිදු කර අවසන් බවද අමත්‍යවරයා පැවසුවේය.
මෙතෙක් මෝචරි වල තිබූ බොහොමයක් ප්‍රශ්න දැනට උද්ගතව ඇති ආපදා තත්වයත් සමඟ තවත් වර්ධනය වූ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාද පෙන්වා දුන්නේය. ඒ අනුව අමාත්‍යවරයා වැඩි දුරටත් පවසන්නේ මේවන විට මේ සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බැවින් ඉදිරියේදී මෙවන් ගැටළුවක් උද්ගත නොවන බවයි.
ඉතාම අසීරු අවස්ථාවක අදහානාගාර වල මලසිරුරු දැවෙද්දී මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආදාහනාගාර ක්‍රියාකරුවෙක්හේ අනුවේදනීය කතාවක්. “අපි මේ කරන්නේ ලොකු කාර්තව්‍යයක්. මිනිස්සු එනවා ආදාහනය කරද්දි. මිනිස්සු දන්නේ නෑ ඇත්තටම මෙතෙන මොකද්ද වෙන්නේ කියලා. අපි මෙහෙම ඉන්නකොට මිනිය ගේනකොට මිනිස්සු එනවා අඬාගෙන, එක එක කතා කියාගෙන මහත්තයෝ. මිනිය පෙන්නන්න කියනවා. මිනිස්සු දන්නේ නෑ මහත්තයෝ කොරෝනා රෝගය මොකද්ද කියලා. බලන්න මහත්තයෝ අපි ඉස්සර හිටිය විදියයි දැන් ඉන්න විදියයි. අපි කොච්චර බයෙන් ද ඉන්නේ. මේ මිනිස්සු මිනිය පුච්චද්දි ඇවිල්ලා අහනවා අනේ පොඩ්ඩක් පෙන්නන්න බැරි ද කියලා. අපි කොහොමද මහත්තයෝ උත්තර දෙන්නේ. අපිත් ගැහි ගැහි ඉන්න වෙලාවේ. අපි ඕක පෙන්නන්න ද මහත්තයෝ කොරෝනා අස්සේ. අපි ඈත්වෙලා ඉන්න කිව්වහම ළඟටම එනවා. මේකේ බැරෑරුම්කම මිනිස්සුන්ට තේරෙන්නේ නෑ,මෙතෙනට ඇවිල්ලා ගැවසෙන්න එන්න එපා. මොකද අපිත් බයෙන් ඉන්නේ.”
එමෙන්ම මෙරට තුළ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. දෛනිකව වාර්තා වන නව ආසාදිතයින් ඉහළයාම හේතුවෙන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඹා යාම හා ඔවුන් හඳුනාගැනිමේ කටයුතු පවා සිදුකිරීමට අසීරු වී ඇති බවට ඔවුන් සඳහන් කරයි. එවන් තත්ත්වයක් තුළ ආසාදිතයින්ගේ තොරතුරු ලබාගැනීමට යෑමෙන් බොහෝ තැන්වල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද ආසාදිතයින් බවට පත්ව ඇතැයි තොරුතුරු වාර්තා වේ.