ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමට එකාබද්ධ ප්‍රවර්ධන වැඩ පිළිවෙලක්

0

ශ්‍රි ලංකාවට වැඩි වශයෙන් සංචාරකයින් ගෙන්වා ගැනීම සදහා ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩපිළිවෙලක් සැකසෙයි.සංචාරක සංවර්ධන අධිකාරිය,සංචාරක ප්‍රවර්ධන කාර්යංශය,සංචාරක සංවිධායකයින්,ගුවන් සමාගම් එක්ව එය ක්‍රියාත්මක කරයි.

මෙම වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ක්‍රියාකාරී සැලැස්ම පිළිබද විශේෂ සාකජ්ජාවක් (26) සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී පැවැත්විණ.එහිදී ඇමතිවරයා කියා සිටියේ අගොස්තු මස 01 වෙනි දින සිට මෙම විශේෂ ප්‍රවර්ධන වැඩ සටහන ක්‍රියාත්මක කල යුතු බවයි.මෙරටට වැඩි වශයෙන් සංචාරකයින් ගෙන්වා ගැනීම සදහා සංචාරක හෝටල්,ගුවන් සමාගම් හා සංචාරක සංවිධායකයනට ලබා දිය හැකි සහන පැකේජ වශයෙන් ඒවා ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය උපාය මාර්ගික සැලසුම් පිළිබදවද  මෙහිදි දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණ.

සැප්තැම්බර් මාසය වන විට මෙරට කොවිඩ් එන්නත්කරණය අවසන් කිරිමට රජය අපේක්ෂා කරන බවත් සමස්ත ජනගහනයෙන් 60% කට කොවිඩ් එන්නත ලබා දීම රජයේ අපේක්ෂාව බවත් පෙන්වා දුන් ඇමතිවරයා කොවිඩ් නිසා බිඳ වැටී ඇති මෙරට ආර්ථිකය නැවත ගොඩ ගත හැක්කේ සංචාරක ව්‍යාපාරය වැනි කර්මාන්ත වලින් බවද කීවේය.ඒ නිසා නැවත සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සදහා ක්‍රමවත් වැඩ පිළවෙලක් හදුන්වා දිය යුතුව තිබේ.ඒ සදහා අවශ්‍ය වන්නේ ප්‍රායෝගික  වැඩ පිළිවෙලක් මිස න්‍යයාත්මක වැඩ පිළිවෙලක් නොවේ. මේ නිසා “තියරි නොවෙයි රිසල්ට් ගන්න කටයුතු කරනනායි” ඇමතිවරයා සංචාරක හෝටල්,ගුවන් සමාගම් හා සංචාරක සංවිධායකයින්ගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.

කොවිඩ් තත්වය හේතුවෙන් රටවල් 21 ක් ශ්‍රී ලංකාවට සංචාරය කිරිම තහනම් කර තිබේ. එම් රටවල සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණිම සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කිරිමට විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බවද ඇමතිවරයා කීවේය.කුවේට්,එක්සත් අරාබී එමීර් රාජ්‍යය , ලාඕස්,මැලේසියාව,මියන්මාරය,සිංගප්පුරුව,පිලිපීනය,එක්සත් රාජධානීය,පෘතුගාලය,ඉතාලිය,ජර්මනිය,නොර්වේ,බහරේන්,නේපාලය,ජපානය,ප්‍රංශය,ඕස්ට්‍රේලියාව,නවසීලන්තය, කටාර්,වියට්නාමය වැනි රටවල් සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා කීවේය.

මීට අමතරව මෙරටට සංචාරකයින් ආකර්ෂනය කර ගැනිම සදහා ලොව පුරා ප්‍රවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කරන ලෙසද ඇමතිවරයා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට මෙහිදී උපදෙස් දුන්නේය.ඒ අනුව රුසියානු හා නැගෙනහිර  යුරෝපා කලාපයේ නව ප්‍රවර්ධන වැඩසටහන් ලබන මාසයේ සිට ආරම්භ කිරිමට තීරණය කෙරිණ.

මෙම සාකච්ජාව සඳහා සංචාරක අමාත්‍යාශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි,සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කීමාලි ප්‍රනාන්දු ,අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ,ගුවන් සමාගම් නියෝජිතයන්,සංචාරක හෝටල් හිමිකරුවන්ගේ සංගම් නියෝජිතයන් හා සංචාරක සංවිධාන ආයතන නියෝජිතයන්ද සහභාගී වුහ.