අතිගරු ජනාධිපතිතුමන්ගේ දැක්ම තුල සමූපකාර ක්ෂේත්‍රයේ පුනුරුදයක්..

0

කිල්ලගස්කඩ විවිධ සේවා සමූපකාර සමිතියේ ඉදිකිරීමට යෝජිත නව සිව් මහල් වෙළද සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සනිටුහන් කරමින් මංගල පස් පිඩැල්ල කැපීම සහ සී/ස රිකිල්ලගස්කඩ විවිධ සේවා සමූපකාර සමිතියේ සාමාජික  සතිපොල විවෘත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් , මහනුවර රිකිල්ලගස්කඩ ප්‍රදේශයේදී (28) සිදුවිය.

මෙහිදි අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරවරයා සදහන් කර සිටියේ සමූපකාර වල ක්‍රියාකාරීත්වය කොවිඩ් වසංගත තත්වයේදී ජනතාවට සහණ සැළසීමෙහි ලා විශාල කාර්යභාරයක් ඉටු කළ බවයි. ආර්ථික පුනර්ජීවන කාර්ය සාධක බළකායේ සභාපති, වර්තමාන මූදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කොවිඩ් වසංගත තත්වය රට පුරා පැතිර යාමත් සමග සමූපකාර ක්‍රියාකාරීන් සහ පළාත් ආණ්ඩුකාරවරවරුන් කැඳවා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සදහා සමූපකාර යාන්ත්‍රණය බලගැන්වීම සිදු කළ අතර, මධ්‍යම පළාත තුල සමූපකාර පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණින් කෝප් සිටි සුපිරි වෙළදසැල් 21 අළුතෙන් ආරම්භ කිරීම සිදුවෙමින් පවතින බවත් එම මහතා මෙහිදී සදහන් කළේය. මෙදින විවෘත වන සතිපොල  මධ්‍යස්ථානයත් සමූපකාර ගොඩනැගිල්ලත් ගොවියාටත්, පාරිභෝගිකයාටත් විශාල පහසුවක් වන ඇතැයි ද සමුපකාරයේ ස්වර්ණමය යුගය වු 70 දශකය මෙන් සමූපකාර ක්ෂේත්‍රයේ නව පුනුරුදයක් උදාකරලීම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍ය දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුගතව, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් වර්තමාන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මගපෙන්වීමෙන් සිදුවෙමින් පවතින බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාව සදහා නුවරඑළිය දිස්ත්‍රීක්ක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් සමූපකාර අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩබ්.එස්.සමරදිවාකර , පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් චමිලා අතපත්තු, රිකිල්ලගස්කඩ විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති විශ්‍රාමික කපිතන් එම්.එම්.රූපසිංහ, යන මහත්ම මහත්මීන්ගේ සහ ප්‍රදේශයේ ජනතාව ද එක් ව සිටියේය. ‍සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් වලට අනුගත වෙමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.