ඈගල්ල ගල්කොරිය හේතුවෙන් විශාල පරිසර හානියක්

0
කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසට අයත් ඈගල්ල ග්‍රාම‌සේවා වසම තුළ දැනට වසර ගණනාවක සිට පවත්වාගෙන යන ගල්කොරිය හේතුවෙන් වර්තමානය  වන විට ප්‍රදේශය තුල පාරිසරික සහ සමාජීය ගැටළු රාශියක් හට ගෙන ඇත.
පුරාවිද්‍යා වටිනාකමක් ඇති බෙලිගල ‌ඓතිහාසික ගල්ලෙන් විහාරස්ථානයට සහ රජය සතු මූකලානට මායිම්ව පවතින පුද්ගලිකයැයි පවසන ඉඩමක් තුල මෙම ගල්කොරිය පවත්වාගෙන යන නමුත් මේ වන විට එම පුද්ගලිකයැයි  බවට පවසන ඉඩමේ සීමාව ඉක්මවා යමින් රජය සතු මූකලානද ආක්‍රමණය කරමින් මෙම ගල්කොරිය පවත්වාගෙන යෑම සිදුවේ.
මෙම සිද්ධිය පිළිබදව අදහස් දැක්වූ වේරගල ‌ඓතිහාසික ගල්ලෙන් විහාරස්ථනයේ වැඩ වසන කහඳවැලිපොත ධම්ම සුජාත හිමියන් පවසා සිටියේ මෙම ගල්කොරිය පවත්වාගෙන යාමට අවසර ලබා ගැනීමට ගල් කොරියේ හිමිකරු ඉදිරිපත්කර ඇති ඔප්පු වලට අනුව ඔවුගේ ඉඩමට මායිම් වශයෙන් ඇත්තේ නැගෙනහිරට රජය සතු මූකලාන සහ බස්නාහිරට පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගල්ලෙන් විහාරය පිහිටා ඇති විශාල ගල් පර්වතයයි. නමුත් මෙම ගල්කොරියේ හිමිකරු දැනට ගල්කොරිය පවත්වාගෙන යනු ලබන්නේ රජය සතු මූකලාන කොටසේ නිසාවෙන් ඒ පිළිබඳව  වරකාපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, කෑගල්ල දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය ආදී වගකිව යුතු ආයතන දැනුවත් කලද ඔවුන් මෙම රජය සතු මූකලාන වෙන් කරමින් රැක ගැනීමට මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැත‍ි බවයි.
මෙම ගල්කොරිය පවත්වගෙන යාම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සහ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය විසින් නිකුත් කර ඇති කොන්දේසී පවා උල්ලංගනය කරමින් ගල්කැඩීම සිදු කරන බව ප්‍රදේශවාසීන් පවසන අතර 2016 වර්ෂයේදී ඇතිවූ ජනතා විරෝධය සහ ආසන්න නිවසකට ගල් කැබලි විසිවීම නිසා ඇති වූ ගැටළුකාරී තත්වය නිසාවෙන් මෙම ගල්කොරියේ බලපත්‍රය අවලංගු කර ඇති බව කැදවුම්කරු වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානයේ ජයන්ත විජේසිංහ මහතා පවසයි.
නැවතත් එම පුද්ගලයා විසින් 2019 වර්ෂයේදී තම පුද්ගලික ඉඩමේ ගල්කොරිය පවත්වාගෙන යන බව පවසමින් ඔහුගේ ඉඩමට ආසන්න රජයේ මූකලාන තුල ගල්කොරිය ක්‍රියාත්මක කරමින් පවතී.මෙම ගල්කොරියේ හිමිකරු විසින් විශාල වශයෙන් ගස් කපා දමා, බැකෝ යන්ත්‍ර භාවිතයෙන් කඳු සහිත භූමිය විනාශ කර මව් පාෂාණය මතුකරමින් ගල්කැඩීම සිදුකරගෙන යනු ලබයි. මෙම කඳු පන්තිය ඉතා සස්ශ්‍රීක පස්තට්ටුවකින් යුක්ත විශාල ජල මූලාශ්‍ර ප්‍රමාණයක් සහිත ප්‍රදේශයක් වන අතර  මෙම ගල් කැඩීමට අවසර ලබා දීමෙන් අසල ගැමි ජනතාව ප්‍රයෝජනයට ගන්නා ලිං සහ ජල මූලාශ්‍ර වේගයෙන් සිඳියාම විශාල ගැටලුවක්ව  පවතින බව ද වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය පවසයි.
මේ සඳහා වගකිව යුතු අදාල නිලධාරීන්ගේ අවධානය යොමු වී රජය සතු මූලකාන කොටස සහිත පරිසර පද්ධතිය රැක ගැනීමට කටයුතු කඩිනම් නොකරන්නේ නම් වටිනා සම්පතක් රටට අහිමි වීම සිදුවින බව එම සංවිධානය වැඩි දුරටත් අවධාරණය කරයි.