දෙහිවල දුම්රිය බෝම්බයට අවුරුදු 25 යි.

0

1996 ජුලි 24 දින සවස 5.30 ට අංක 764 දරණ මන්දගාමී කාර්යාල දුම්රිය  කොළඹ කොටුවේ සිට අලුත්ගම බලා ධාවනය වූයේ විශාල මගන් සංඛ්‍යාවක්ද සමගය. එදින වැටුප් ගෙවූ දිනයක් වූ බැවින් බොහෝ මගීන්ට  අවශ්‍ය  වූයේ ගෙදරට අවශ්‍ය බඩු භාහිරාදිය රැගෙන ඉක්මනින් ගෙදර බලා  පිටත්වීමටය. දුම්රිය වැල්ලවත්ත දුම්රිය පොළේ නතර කළ විට සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු ඉන් බැස ගිය බවත් සැක කටයුතු ගමන් බෑගයක් දුම්රිය තුළ තිබූ බවත් ගමන් කළ මගීන්ට දැක ගන්නට ලැබුණු බවට වන රාවයක්   දුම්රිය පුරා ලැව්ගින්නක් සේ පැතිර ගොස් තිබුණි. ලෝකයේ රටවල් ගණනානවක් කෲරතම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කොට තහනම  කර තිබූ LTTE කොටි සංවිධානය හෙවත්  දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය උතුර හා නැගෙනහිර පළාතේ ස්වංපාලනයක් ඉල්ලා සටන්කර අහිංසක මිනිසුන් මහමග මරාදමන යුගයක් වූ බැවින් එම යුගයේ  සියලුම දෙනා නිවසින් පිටත්වූයේ නැවත ගෙදරයාමට හැකිවේදැයි සැකයෙන් යුක්තවය. එබැවින් බොහෝ පුද්ගලයින් දුම්රිය හෝ පොදු ප්‍රවාහන සේවයකදී වඩාත් විමසිල්ලෙන් ගමන් ගත්තේය. බම්බලපිටිය දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වැදුණු සිංහල බස හොදින් කතා කිරීමට හැකියාවක් ඇති කඩවසම් තරුණයෙකු සිය ගමන් බෑගය මගීන්ගෙන් ලබා ගත් අවසරයකින් පසු දුම්රියේ ආසනවලට ඉහළින් වූ ගමන්මලු  රදවන ස්ථානයේ තබා දුම්රිය පාපුවරුවට ගොඩ වැදී ඇත. එහෙත් ඔහු ගමන් බෑගය දුම්රියේ තබා වැල්ලවත්ත දුම්රිය ස්ථානයෙන් බැසගොස් තිබුණි.දුම්රිය පුරා රාවයක් ගොස් ඇත්තේ මෙම සිදුවීම පිළිබදවය.

දුම්රිය දෙහිවල දුම්රිය ස්ථානයේ නතරකළ අවස්ථාවේ එහි ගමන් ගත් හමුදා නිළධාරියෙකු විසින් සැකකටයුතු පාර්සල් දෙකක් ආරක්ෂිතව දුම්රියෙන් පිටතට ගෙන ආරක්ෂක අංශ වලට භාරදී තිබුණි. දුම්රිය දැඩි පරික්ෂාවට ලක්කිරීම සදහා සමහර මගීන් ඉල්ලා සිටියද බහුතර මගීන් සංඛාවක් දුම්රිය නියාමකවරයාගෙන් ඉල්ලා ඇත්තේ දුම්රියේ බෝම්බ නොමැති  බැවින් තමන්ට ඉක්මනින්ම ගෙදරයාමට අවශ්‍ය බවත් තමන් නිකරුනේ රස්තියාදු නොකරන ලෙසත්ය. මගීන්ගේ හැසිරීම පාලනය කිරීමට නොහැකි තැන දුම්රිය නියාමකවරයා දුම්රිය පිටත් කර හැරීමට සංඥාව ලබා දී තිබුණි. සවස 6.25 ට පමණ එම දුම්රිය නැවත අලුත්ගම බලා ධාවනය කිරීමට දෙහිවල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරනවාත් සමගම මහහඩක් නගමින් දුම්රිය  මැදිරි දෙකක් තුළ වූ බෝම්බ තුනක් පුපුරා ගොස් තිබුනි. අනෙක් දුම්රිය මැදිරිවලටද විශාල ලෙස හානි වී තිබුණි. වහාම ක්‍රියාත්මක් වූ දෙහිවල ප්‍රදේශවාසීන් තුවාලකරුවන් රෝහල් වෙත ගෙන යාමට කටයුතු කළේය. ඒ සදහා ප්‍රදේශයේ තිබූ පෞද්ගලික බස් රථලොරි වෑන් රථ හා පෞද්ගලික වාහන උපයෝගී කර ගෙන තිබූණි.එම ස්ථානයේ එම අවස්ථාවේ  එකම  විලාප හඩක් නැගුනු අතර සිහිය තිබු තුවාලකරුවන් තමන් රෝහල වෙත ගෙන යනු ලෙස බැගෑපත්ව ඉල්ලා  විලාප දී ඇත.

පසුව දැනගැනීමට ලැබුනේ මෙම දුම්රිය බෝම්බයෙන් එහි ගමන් ගත් අහිංසක සිවිල් වැසියන් 67 දෙනෙකුට සිය ජීවිතය අහිමි වූ බවයි.ගැබිණි මවුවරුන්ද ඒ අතර විය. 350 කට අධික පිරිසක් තුවාල ලබා තිබුණු අතර ඉන් විශාල පිරිසක් සදාකාලික අබාධිතයින් බවට පත්විය.

තම මව පියා රැකියාව නිමකර ගෙදර එනතුරු බලා සිටි දරුවන්ට තම දෙමව්පියන්ද  තම දරුවන් රැකියාව නිමකර ගෙදර එනතුරු බලා සිටි දෙමව්පියන්ට සිය දරුවන්ද අහිමිවිය. දහසක් ප්‍රාර්ථනා හිසේ තබාගෙන රැකියාවට ගිය අහිංසකයින්ට සිය ජීවිතය අහිමිකළේ කුරිරු මිලෙච්ඡ කොටි ත්‍රස්තවාදීන්ය.

2021/07/24 දිනට එම කෘරිරු බෝම්බය පිපිරී වසර 25 ක් සම්පූර්ණ වේ.  එම බෝම්බයෙන් මියගිය පිරිස තවමත් ඥාතීන්, මිත්‍රයින් මෙන්ම දෙහිවල ප්‍රදේශවාසීන් විසින් සමරනු ලබන්නේ කුරිරු ත්‍රස්තවාදීන්ට ශාප කරමිනි. සිංහල දෙමළ මුස්ලිම් බේදයකින් තොරව එම දුම්රියේ ගමන්ගත් පිරිස මරුතුරුලට යැවීමට තරම් කුරිරු LTTE ත්‍රස්තවාදීන්  මිලෙච්ඡ වී තිබුණි. දෙහිවල දුම්රිය බෝම්බයට අමතරව දිවයින පුරා ස්ථාන රැසක බෝම්බ පුපුරුවාහැරද මායිම්ගම්මාන තුළට කඩාවැදී අත දරුවන්ද ඇතුලු අහිංසක මිනිසුන් කපා කොටාද මෙරට අහිංසක පුරවැසියන් අමුඅමුවේ  මරාදැමුවේ කුරිරු LTTE මිලෙච්ඡ  ත්‍රස්තවාදීන්ය. එම අහිංසක මිනිසුන් සිහිකිරීම අපගේ යුතුකමයකි.

වින්දිතයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ එකමුතුව