මීළඟට බැසිල්

0
ආණ්ඩුව ප්‍රශ්න විසදීමට මහින්ද රාජපක්ෂ ඉන් පසුව ගෝඨාභය රාජපක්‍ෂ දැන් බැසිල් රාජපක්‍ෂ යන චරිත ගෙන එමින් පවුලේ එකිනෙකා වීරයා බවට පත්කරමින් සිටින බව ජාතික ජන බලවේගය පවසයි.
වර්තමාන තත්වය ගැන පහදමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසුරිය පැවසුවේ මෙවන් අදහසකි. “මේ වෙලාවේ රටේ අර්බුද රාශියක් පැන නැගිලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මැදිහත් විය යුතු ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව පවත්වනවා. මේ වන විට ආණ්ඩුව දිනපතාම අර්බුද සහ විහිළු සපයන තත්වයට පත්ව තිබෙනවා. ජනතාවක් හැටියට හෝ රටක් හැටියට දරා ගන්න බැරි තරමට ඒ නිසාම ප්‍රශ්න ඇතිවෙනවා. මේ තරම් සීග්‍රයෙන් රට කඩා වැටෙන තත්වයකට පත්කළ වෙන ආණ්ඩුවක් අපේ මතකයේ නැහැ. මේකේ බරපතළකම මේ මොහොතේදී විතරක් නෙවෙයි, රටේ මුළු අනාගතයම අර්බුදයට පත්වෙනවා. කරමින් ඉන්න විකාර වැඩ නිසා ආයතන, අර්ථිකය, සෞඛ්‍ය ක්‍ෂේත්‍රය, අධ්‍යාපන ක්‍ෂේත්‍රය ඇතුළු හැම ක්‍ෂේත්‍රයක්ම කඩා වැටෙමින් තිබෙනවා. ජනතාව අපේක්‍ෂාභංගත්වයට පත්වී ඉන්නේ. ගොවීන්, ධීවරයින්, වතු කම්කරුවන්, ඇඟළුම් ක්‍ෂේත්‍රය, ස්වයං රැකියා වගේම අධ්‍යාපනයේ ගුරුවරුන්, ළමුන් සහ දෙමාපියන් හැම අතින්ම ප්‍රශ්නවලට ගොදුරු වෙලා. මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට මේ ආණ්ඩුවට කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. හැම මොහොතකම පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ නොහැකියාවයි.
ඒ අතර රටේ පාර්ලිමේන්තු සංස්කෘතිය ඇතුළු කිසිම දේකට ගෞරවයක් දක්වන්නේ නැහැ. ඒ ගැන දැනුවත්කමකුත් නැහැ. රට පවත්වාගෙන යන්න තියෙන සියලුම පද්ධතීන් විනාශ කරමින් යන ගමනක් තියෙන්නේ. මේ සියලු අර්බුද බැසිල් රාජපක්‍ෂ මහත්මයා පාර්ලිමේන්තුවට ඇවිත් ඇමතිකමක් ලබාගත්තාම විසඳන බවට මතයක් ගෙන යමින් ඉන්නවා. මෙච්චර කල් කීවේ ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා සියලු ප්‍රශ්න විසඳනවා කියලා. ඊට ඉස්සෙල්ලා කිව්වේ මහින්ද රාජපක්‍ෂ මහත්මයා ගැන. දැන් බැසිල් රාජපක්‍ෂ මහත්මයා ගැන කියනවා. මේ විහිළුව මොකක්ද? පවුලේ එකිනෙකා වීරයා බවට පත්කරමින් එළියට දානවා. එක්කෙනෙක් ෆේල් වෙනකොට පැත්තකට දාලා අනෙක් එක්කෙනාව ගන්නවා. මේ රටේ රාජපක්‍ෂවරු විතරද රටට වැඩක් කරන්න පුළුවන් අය ඉන්නේ? මේ ප්‍රශ්න විසඳන්න මැජික්කාරයෝ නැහැ කියලා කවදද තේරුම් ගන්නේ? මේ රට වැටිලා තියෙන්නේ මැජික්කාරයෙකුට කරගන්න බැරිවුණු නිසා නොවෙයි. පවතින දේශපාලන අධිකාරිය විසින් කාලයක් තිස්සේ තමන්ගේ බල ව්‍යාපෘති වෙනුවෙන් රටේ සියලුම පද්ධති මෙහෙයවීම නිසා තමයි මේ රට මෙතනට වැටිලා තියෙන්නේ.
අමාරුවෙන් හරි මේ තත්වය තුළ ඉගෙනගෙන වෙනස් කරන්න මැදිහත් විය යුතුයි කියලා අපි අවධාරණය කරනවා. වහාම මැදිහත් වී අත්හැරී තිබෙන අධ්‍යාපනය ගැනත් සංවේදී වෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.
කෙසේවෙතත් විපක්ෂයට තිබෙන්නේ රාජපක්ෂ භීතිකාවක් යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සමහර පවුල්වල දක්ෂයින් කිහිප දෙනෙක් සිටිය හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ රාජපක්ෂ පවුල් ද එවැනි දක්ෂයන් ගෙන් පිරුණු පවුලක්  බවයි. ක්‍රිකට් ක්‍රීඩාවේ දී රණතුංග පවුල්, දේශපාලනයේදී බණ්ඩාරනායක පවුල හා සේනානායක පවුල වැනි පවුල් එකම ක්ෂේත්‍රයේ දක්ෂතා දැක් වූ  පවුල්වලට උදාහරණ ලෙස පෙන්වා දිය හැකි වුවත් රාජපක්ෂ පවුලට පමණක් මෙවැනි දෝෂාරෝපණ එල්ල කරන්නේ විපක්ෂයට ඇති රාජපක්ෂ භීතිකාව නිසා බවද අමාත්‍යවරයා කීය.
ඉකුත් මහින්ද රාජපක්ෂ රජය සමයේ ආර්ථික අමාත්‍යවරයා ලෙස රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා දැඩි කැපවීමක් කළ බැසිල් රාජපක්ෂ මහතා නැවත පාර්ලිමේන්තුවට පැමිනෙන්නේ නම් ඒ පිළිබඳව තමා පුද්ගලිකව සතුටු වන බව ද කී අමාත්‍යවරයා පැවසුවේ පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් තීරණය පවතින්නේ බැසිල් රාජපක්ෂ මහතා අතේ බවයි.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු තෙල් මිල අඩු කළ හැකි හැකිදැයි මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් “ප්‍රශ්න වලට විකල්ප සෙවීමේ හැකියාව” බැසිල් රාජපක්ෂ මහතාට පවතින බව කීවේය. පොසොන් පොහොය දා සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා සදහන් කළේ වෙසක් හා පොසොන් පොහෝ දිනවල සිරකරුවන් නිදහස් කිරීම ඉතිහාසය පුරා සිදු කෙරුණ බවයි