ඉහළ යන ආර්ථික වියදමට ජනතාවගේ දැඩි විරෝධය

0
By: අශන්ති වරුනසුරිය
පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමා ඇත. ඒ අනුව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ රුපියල් 5 ත් 10 ත් අතර ප්‍රමාණයකින් බේකරි නිෂ්පාදන ඉහළ දමන බවය. ඒ අනුව මාළු පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන රුපියල් 5ත් 10 ත් අතර මිලකින් ඉහළ ගොස් ඇත. පාඩුවෙන් බේරෙන්න ගෑස් මිල රුපියල් 400කින් වැඩි කළ යුතුයි
ගෑස් සමාගම් පවත්වාගෙන යාමට නම් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 400 කින් වත් වැඩි කළ යුතු බවට වන යෝජනාවක් ගෑස් මිල සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ දී ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.
ගෑස් මිල සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති කමිටුව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී ඊයේ (14) රැස් වූ අවස්ථාවේදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත .
කොරෝනා වසංගතය හමුවේ දැඩි ආර්ථික අර්බුදයක සිටින ජනතාව රජය මෙලෙස මිලිහල දැමීම හමුවේ දැඩි අප්‍රසාදය පල කරමින් සිටී. එමෙන්ම මේ වන විට ජුනි 21 වන සඳුදා දක්වා පනවා ඇති සංචරණ සීමා තව දුරටත් දීර්ඝ කිරීමේ හැකියාව පිළිබඳව රජය අද ඉඟි කර තිබේ.
කැබිනට් සම ප්‍රකාශක කෙහෙලිය රම්බුක්වැල්ල මයා පැවසුවේ සඳුදා තෙක් යොදා ඇති සංචරණ සිමා ඉවත් කිරීමක් ගැන මෙතෙක් තීරණයක්  ගෙන නොමැති බවය.
කෙසේවෙතත් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමේ යම් අඩුවක් සිදු වුවද කොරෝනා භයානක තත්ත්වය කිසිසේත් පහව ගොස් නැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරයි. මේ අතර කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 2284 දෙනෙකු ඊයේ දිනයේ මෙරටින් හදුනා ගැනුන අතර කොරෝනා ආසාදනය වී සිටි 57 දෙනෙකු පසුගිය ඉරිදා දිනයේ මිය ගොස් ඇත.
ඊයේ දිනයේ හදුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් අතරින් විසි පස් දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්ය. වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනාගත් අතර එම සංඛ්‍යාව 526කි.  කොළඹ දිස්ත්‍රික්කයෙන් 287 ක්ද  රත්නපුරයෙන් 260, කළුතරින් 155, ගාල්ලෙන් 154 සහ නුවරඑළියෙන් 123 ඊයේ දිනයේ වාර්තා විය.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ විසි පන් දහස් නවසිය විසි දෙකකි. තිස් තුන් දහස් දෙසිය පනස් පස් දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව එක් ලක්ෂ අනූ දහස් හාරසිය හැට හතරකි. මේ අතර පසුගිය ඉරිදා දිනයේ දී කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණ  57 ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේය.
ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා ඩෙල්ටා ප්‍ර භේදය භයානක බැවින් එය මෙරට පැතිර යාම වැලැක්වීම සදහා සියලු ක්‍රියාමාර්ග ගත යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මේ වනවිට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් සිදුව ඇති බැවින් එම තත්ත්වය ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කළ යුතු බවත් එම සංගමය පවසයි.
කොවිඩ් නයින්ටීන් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ විසි තුන් ලක්ෂ දා හත් දහස් දොලොස් දෙනෙකුට මේ වනවිට එන්නත ලබාදී ඇත.  ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව නව ලක්ෂ විසි පන් දහස් දෙසීය හතලිස් දෙදෙනෙකුට ද එහි දෙවන මාත්‍රාව  තුන් ලක්ෂ පනස් පන් දහස් හයසිය හැත්තැ පහකට ද සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව දහතුන් ලක්ෂ විසි හය දහස් හත්සිය අසූ හතර දෙනෙකුට ද දෙවන මත්‍රාව දෙලක්ෂ පනස් තුන් දහස් අටසිය තිස් පස් දෙනෙකුට ලබාදී ඇත.
ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව හැට හතර දහස් නවසිය අසූ හය දෙනෙකුට ද දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව තුන් දහස් හයසිය අනූවක්ට ද කොවිඩ් නයින්ටීන් මර්දන එන්නතේ පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව ලබාදීම දිවයින පුරා අද දිනයේත් සාර්ථකව සිදු කෙරේ.
එමෙන්ම වසර අවසාන වන විට මෙරට ජනගහණයෙන් 60%-70%ක ප්‍රමාණයකට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම රජයේ ඉලක්කය වී ඇත.