නෞකාවේ පරීක්ෂණ තත්වයන් දිගටම

0
By: අශන්ති වරුනසුරිය 
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමත් සමග සමුද්‍ර ජීවීන්ට සහ පරිසරයට සිදු වූ හානිය පිළිබඳ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ. ඒ මැයි 29 වැනිදා සිට ජුනි 9 වැනිදා දක්වා කාලය තුළ වාර්තා වූ සිදුවීම් පදනම් කර ගනිමිනි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනූව කැස්බෑවන් 23 දෙනෙකුගේ හා ඩොල්ෆින් මත්ස්‍යයින් 4 දෙනෙකුගේ සිරුරු හමුවී තිබේ.
වැල්ලවත්ත,දෙහිවල,මොරටුව,එගොඩඋයන,පානදුර,කොස්ගොඩ,ඉඳුරුව,ගාල්ල,උණවටුන,කුඩාවැල්ල,මාරවිල,තොඩුවාව යන වෙරළාශ්‍රිත ප්‍රදේශවලින් එලෙස හමුවී ඇත.
මියගිය කැස්බෑවුන්ගෙන් 7 දෙනෙකු බටු කැස්බෑවන් වන අතර පොතු කැස්බෑවන් 4 දෙනෙකු හා ගල් කැස්බෑවන් 4 දෙනෙකු ද වාර්තා වෙයි. මීට අමතරව අසාද්‍ය තත්වයේ පසුවන කැස්බෑවුන් දෙදෙනෙකු මේ වන විට පශු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි වන වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව ඩොල්ෆින් මත්ස්‍යයින් ඇතුළු පරා,ගල් මාලු,මුහුදු ආඳාවුන් සහ වෙරළ ආසන්න වෙසෙන පක්ෂි වර්ග කිහිපයක් ද මියගොස් ඇතැයි සඳහන්වේ.
මේ පිළිබඳ අදාළ නෞකා සමාගමට එරෙහිව සමුද්‍ර පරිසර සහ වෙරළ සංරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, අධිකරණ අමාත්‍යාංශය එක්ව ඉදිරියේ දී ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
එමෙන්ම කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මේ වන විට මුහුදු බත් වීම ආරම්භ වී ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විශාල තෙල් කාන්දුවක් සිදුවන බවට විදේශ පුවත් සේවයක් (ස්කයි නිවුස්) වාර්තා කළ පුවත වැරදි බව අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ටුවිටර් සටහනක් තබමින් පවසයි.
එක්ස්-ප්‍රෙස් පර්ල් නම් බහාලුම් නෞකාවේ ක්‍රියාකරුවන් තරයේ කියා සිටියේ ඊයේ සවස් වන විට නෞකාවෙන් තෙල් කාන්දු වූ බවට තහවුරු වී නොමැති බවය. ස්කයි නිවුස් නෞකාව අවට ප්‍රදේශයේ චන්ද්‍රිකා ඡායාරූපයක් ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ තෙල් කාන්දුවක් ඇති බවය.
කෙසේ වෙතත්, නැව් ක්‍රියාකරුවන් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ දේශීය වේලාව 1800 වන විට, සුන්බුන් පිළිබඳ කිසිදු සලකුණක් සහ ඉන්ධන තෙල් දූෂණය පිළිබඳ ස්ථිර වාර්තාවක් නොමැති බව රජය තහවුරු කර සිටියි.