වසවිසෙන් තොර පළමුවන රට වීමට ශ්‍රී ලංකාවට මහගු අවස්ථාවක්

0
Picture courtesy: ep.gov.lk නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත්
පරිසර හිතකාමී ගොවිතැන හරහා ලොව වසවිසෙන් තොර පළමුවන රට වීමට ශ්‍රී ලංකාවට මහගු අවස්ථාවක්
පසුගිය යල කන්නයේ දී ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ කන්තලේ ගොවිමහතෙකු මා අමතා ප්‍රකාශ කර සිටියේ කුඹුරු යායක්ම කීඩෑ උවදුර නිසා විනාශ වී ඇති බැවින් ඒ වෙනුවෙන් වන්දි ලබාදීමට කටයුතු කරන ලෙසය. එවකටද කොවිඩ් අර්බුදය හේතුවෙන් රට තුළ සංචරණ සීමා පනවා තිබූ බැවින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා වන්දි ලබා ගැනීම නොහැකි වූ බවය, ඔහු පවසා සිටියේ. මාගේ ආරාධනාව පරිදි කෘෂිකර්ම විශේෂඥ මහාචාර්ය වික්‍රමසිංහ මැතිතුමා කන්තලේට පැමිණියේ අඛණ්‌ඩව පැවැති මෙම කීඩෑ උවදුරට පිළියමක් ලබාදීමට ය.පසුගිය වසරේ යල කන්නයේ නියමු ව්‍යාපෘතියක් ලෙස පටන් ගැණුනු කාබනික ගොවිතැන ක්‍රම ක්‍රමයෙන් පුළුල්ව ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කය පුරාවට වර්ධනය කර ගැනීමට අවස්ථාව උදා වූයේ මේ ආකාරයෙනි.
ගොවිතැන කෘෂිකර්මාන්තයක් නොව කෘෂි සංස්කෘතියකි (agriculture). ගොවිතැන අපගේ රට තුළ නම් කෘෂි ශිෂ්ඨාචාරයයි. අපගේ ඉපැරණි එනමුදු සජීවී ශිෂ්ඨාචාරය සම්පූර්ණයෙන්ම වාගේ රඳා පවතින්නේ මෙම කෘෂි සංස්කෘතිය මගිනි.  පණ්ඩුකාභය රජ දවස සිට තවමත් ශක්තිමත්ව පවතින ඉතා සංකීර්ණ වාරි කර්මාන්තයක් අපට උරුම වූයේ ද මෙම හේතුවෙනි. ලංකාදීපය, පෙරදිග භාණ්ඩාගාරය ලෙස නම් කෙරුණේ ද එවකට තිබු ශක්තිමත් කෘෂි ආර්ථිකය නිසාවෙනි. එසේම කෘෂි සංස්කෘතිය බෞද්ධ දහම ද සොබාදහම ද එක්ව කැටි වූ ජීවන රටාවක් මත පදනම් වූ දහමකි. දැනට ලොව ඇති විශාල අභියෝග මධ්‍යයේ අපගේ අනාගත පැවැත්ම සහ එහි සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ අප අපට ආවේණික වූ මෙම දහම රැක ගන්නවාද නැතහොත් හරිත විප්ලවය නමින් ලොවට හඳුන්වා දුන් කාර්මික කෘෂි කර්මාන්තයේ රැදෙනවා ද මතයි.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතර ඇති වූ සීතල යුද්ධය අවස්ථාවේදී එක්සත් ජනපදය ඔවුන්ගේ බලය සහ දේශපාලන මතවාදය ලොව ප්‍රචලිත කිරීමට බොහෝ ක්‍රමවේද තෝරා ගන්නා ලදී. හරිත විප්ලවය මින් එකකි. හරිත විප්ලවය හරහා තුන්වැනි ලෝකයේ පැවති ආහාර හිඟයට පිළියමක් ලබා දෙමින් එම රටවල් තම මතවාදයට යොමු කර ගැනීම ඔවුන්ගේ අභිමතාර්ථය විය.
1940 දශකයේ දී මෙක්සිකෝවෙන් පටන් ගත් හරිත විප්ලවය කාර්මීකරණය හරහා වැඩි ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනයට දායක විය. ඉතා විශාල ඉඩම් ප්‍රමාණයක් වෙන් කරමින් බොහෝ යන්ත්‍රෝපකරණ  යොදාගනිමින් අධික ප්‍රමාණයක රසායනික පොහොර යොදා  ගනිමින් විශේෂයෙන්ම තිරිඟු, බඩ ඉරිඟු වැනි ධාන්‍ය වර්ග වල නිෂ්පාදනය වැඩි කිරීමට මෙම ක්‍රමය හරහා හැකිවී ඇත. මීට අමතරව පර්යේෂණාගාර හරහා නිෂ්පාදනය වැඩි කරන බීජ වර්ග හඳුන්වාදීම ද සිදුවිය. 1970 දී ඇමෙරිකානු ජාතික Norman Borlaug නමැති විද්‍යාඥයාට නොබෙල් සාම ත්‍යාගය ලැබෙන්නේ ද ඔහු විසින් පර්යේෂණ කර හඳුන්වා දුන් තිරිඟු වර්ගයක් නිසාවෙනි. මෙලෙස ව්‍යාප්ත වූ හරිත විප්ලවයට අවශ්‍ය රසායනික පොහොර නිෂ්පාදනාගාර බවට පත් වන්නේ දෙවන ලෝක යුද්ධයට අවි ආයුධ නිපදවූ නිෂ්පාදනාගාරයයි. මොවුන් මහා පරිමාණයෙන් යුද්ධය නිසා නිෂ්පාදනය කරමින් සිටි රසායනික ද්‍රව්‍ය පොහොර ලෙස මහ පොළොවට එක් වන්නේ ද මෙලෙසිනි.
හරිත විප්ලවය වඩාත් ප්‍රචලිත වූ ලතින් ඇමරිකානු රටවල් අද වන විට බොහෝ  අභාග්‍යවන්ත ලෙස මෙහි පලවිපාක විඳිමින් සිටියි. එකම වර්ගයේ බෝග(monocultures)  සඳහා වෙන් කළ අක්කර දස දහස් ගණනක භූමි ප්‍රමාණයක් වගා කරනුයේ යන්ත්‍රෝපකරණ ආධාරයෙනි.  පැරගුවේ ජනතාව අදටත් තමන් ට අහිමි වූ ඉඩම් අල්ලා උද්ඝෝෂණ කරති. ගොවි ඉඩම් අල්ලා ගත් සමාගම් පවසන්නේ ගොවියන්ට වන්දි ගෙවූ බව ය. නමුත් මොවුන් තමන්ගේ ගොවිතැනට කුඩා භූමි භාගයක් වත් නැතිව වෙනත් ජීවන මාර්ගයක් ද නැතිව ජීවත් වීමට වෙර දරති. කාර්මීකරණය වූ ගොවිපලවල් නිසා ගොවියාට භූමියක් පමණක් නොව රැකියා අවස්ථා ද අහිමි වී ඇත. ඔවුන්ට කම්කරුවන් ලෙස නගරයට ගොස් පැල්පත්වල අභියෝග රාශියකට මුහුණ දෙමින් ජීවත් වීමට සිදුව ඇත්තේ මේ නිසා වෙනි. ජාන වෙනස් කරන ලද බෝග වලට යොදන අධික රසායනික පොහොර සහ පළිබෝධනාශක, වල්නාශක නිසා මෙම වගාබිම් අවට ජනතාවගේ සෞඛ්‍යය තත්වය ද ඉතා පහළය. ශාරීරික අබාධ සහිත දරු උපත් ද, ශ්වසන රෝග ද ඉතා සුලබය. වකුගඩු රෝගීන් ද, පිළිකා රෝගීන් ද එමටය.  මේ සියලු කම්කටුලු මැද වුව ද ලෝක ආහාර අවශ්‍යතාවට  මහා පරිමාණ ගොවි පලවල් වලින් ලැබෙන දායකත්වය 30%කි. 70%ක්ම සත්ව ආහාර සහ බලශක්ති නිෂ්පාදනයටයි. අදටත් ලෝක ආහාර අවශ්‍යතාවය සපුරා ගන්නේ කුඩා ගොවිපලවල් හරහාය.
මොන්සැන්ටෝ වැනි බහු ජාතික සමාගම් නිපදවන කෘෂි ආදේශ තවමත් ලොව පුරාම    විකිණේ.  කෙතරම්ද යත්, 2024 වන විට US ඩොලර්  බිලියන 12 ක වටිනාකමින් යුතු ප්‍රමාණයක රවුන්ඩ්අප් නමැති වල්නාශක පමණක් විකිණිය හැකි බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවැකි කියයි. මෙහි ඇති ප්‍රධාන රසායනිකය ග්ලයිෆොසේට් පිළිකාකාරක බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර පර්යේෂණ ආයතන මඟින් තහවුරු කර ඇතත් මෙය තවම මහා පරිමාණයෙන් විකිණෙමින් පවතී. ඖෂධ සමාගමක් වන  බේයර් සමාගම 2018 දී ඇ. ඩො. බි. 63කට පිළිකාකාරක ග්ලයිපොසේට් නිෂ්පාදනය කරන මොන්සැන්ටෝ ආයතනය මිලදී ගන්නේ එම ආයතනයට නඩු 125,000ක් ද තිබිය දීය. දැන් එකම සමාගමකට පළමුව කෘෂිකාර්මික රසායනික ආදේශ විකුණා, පසුව සෞඛ්‍යය අංශයට ඖෂධ  විකිණීමට  හැක. මෙය මනුෂ්‍යත්වයට කෙරෙන ඉහළම උපහාසයි.
ශ්‍රී ලංකාව ග්ලයිෆොසේට් තහනම් කළ රටවල් කිහිපය අතරින් එකකි. ලංකාවේ විශේෂයෙන්ම වියළි කලාපයේ ගොවීන් අතර පැතිර ඇති නිදන්ගත වකුගඩු රෝගය සම්බන්ධව මහාචාර්ය චන්න ජයසුමන මහතා කළ පර්යේෂණයේ ප්‍රතිඵල වලින් පසුව රජය ග්ලයිෆොසේට් තහනම් කිරීමට තීරණය කිරීම අප රට ලද ජයග්‍රහණයකි.
අද වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රසායනික පොහොර සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ගත් තීරණය ඉතා කාලෝචිත සහ දූරදර්ශීය. මෙය ලොව පුරා ඇති කෘෂි ත්‍රස්තවාදයට එරෙහිව ගත් නිර්භීත තීරණයකි. රටක, ජාතියක පැවැත්ම රඳා පවතින්නේ රාජ්‍ය නායකයන් විසින් ගන්නා මෙවන් බුද්ධිමත් තීරණ මතය. නමුත් මෙය සාර්ථකත්වය කරා ගෙන යෑමට  නම්,  මෙහි වගකීම සියලු දෙනාම කරට ගත යුතුයි.
බොහෝ විශේෂඥයින්ගේ  දැනුමට අනුව, ලොව පැවැත්ම රඳා පවතින්නේ ජෛවවිවිධත්වය මතයි. ගැඩවිලාගේ සිට මී මැස්සා දක්වාද ඇති ජෛව විවිධත්වය රැක ගත හැක්කේ කාබනික යෙදවුම් වලට පමණක් සීමා වූ පසෙහි ජීවය රැක ගත හැකි කාබනික ගොවිතැනින්මය. පරිසර පද්ධතියම රැකගත හැකි වන්නේ කාබනික ගොවිතැනෙනි. කාබනික යෙදවුම් සහිත පසෙහි  පෝෂ්‍යපදාර්ථ වෙනත් පසක පෝෂ්‍යපදාර්ථ වලට වඩා  60 %කින් වැඩි බව අධ්‍යයන වලින් අනාවරණය වී ඇත.
ආචාර්ය වන්දනා ශිවා පරිසර හිතකාමී කාබනික වගාව ලොව ප්‍රචලිත කිරීමට බොහෝ වෙහෙසක් ගන්නීය. භෞතික විද්‍යා ආචාර්ය උපාධිධාරිනියක් වන ඇයගේම ගොවිබිම්  හරහා කරන ලද පර්යේෂණ   වලට අනුව කාබනික යෙදවුම් සහිත පසෙහි නයිට්‍රජන් ප්‍රමාණය 44% සිට 147% දක්වා වැඩිවී ඇති බව ද රසායනික යෙදවුම් වලදී නයිට්‍රජන් 22%කින් අඩු වී ඇති බවද සොයාගෙන ඇත.  ඇය ප්‍රකාශ කරන්නේ රසායනික පොහොර හරහා නයිට්‍රජන් එකතු කරන විට පසෙහි හටගන්නා ස්වභාවික නයිට්‍රජන් ප්‍රමාණය අඩුවන බවය. කාබනික ගොවිතැනේ දී පොස්පරස් 63%කින්ද පොටෑසියම් 34% කින් ද සින්ක් 14%කින් වැඩි වී ඇති බව ඇය පර්යේෂණවලින් පෙන්වා දෙයි.
පැළයක වර්ධනය රඳා පවතින්නේ පසෙහි  සජීවීවත් බව මතයි. පස පොහොසත් කරන්නේ එහි සිටින ක්ෂුද්‍ර ජීවින්ය. රසායනික පොහොර ඉල්ලා අඩන ගොවියා මහපොළොවට යූරියා ඉසින විට පස  සාරවත් කරන ක්ෂුද්‍ර ජීවීන් සියල්ල විනාශ වන බව ඔහු නොදන්නේ ද? පස මරා දමමින් නැවත නැවත ආදේශක යොදමින් කරන ගොවිතැනට පැවැත්මක් නැත. ආහාර සුරක්ෂිතභාවය යනු පසෙහි සුරක්ෂිතභාවයයි. අපේ මුතුන් මිත්තන් පමණක් නොව සියලුම පැරණි ශිෂ්ඨාචාරයන් පස දේවත්වයෙන් සැලකූයේ මෙය තේරුම් ගෙනය. .
එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයට (Food and Agriculture Organization-FAO) අනුව පසුගිය වසර වනවිට ලෝකයේ මුළු ජනගහනයෙන් 8.9%ක් මන්ද පෝෂණයෙන් පෙළෙන අයය. බිලියන දෙකකට අධික ප්‍රමාණයකට ආහාර සුරක්ෂිතතාවය නැත්තේය. කෘෂි කර්මාන්තයේ යෙදී සිටින අයගෙන් මිලියන 700ක්  අධික දුප්පත්කමින් පෙළෙන අයය. එසේම කාලගුණික විපර්යාසයන්ට ප්‍රධාන හේතුව වන ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් 30%ක්ම සිදුවන්නේ කාර්මීකරණය වූ කෘෂිකර්මාන්තය නිසාවෙනි. මෙම දත්ත වලට අනුව මහා පරිමාණයේ ගොවිබිම් හරහා ලොවෙහි ආහාර සුරක්ෂිතභාවය හෝ පරිසරය රැක ගැනීමට නොහැකි වී ඇති බව සක් සුදක් සේ පැහැදිළිය.
FAO ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් කියූ ඩෙංග්යු මැතිතුමා පසුගිය මැයි 25 වන දින පැවැත්වු ලෝක නායකයන්ගේ සම්මේලනයේ දී ප්‍රකාශ කර සිටියේ ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම, සොබාදහමත් සමග නොගැටී ජීවත් වීම, ස්වභාවධර්මය සහ මානවයා අතර සහජීවනය සියලු දෙනාගේම වගකීම බවත් ය. ඔවුන් මෙම ප්‍රතිපත්තීන් “අප විසඳුමේ කොටස්කරුවන්ය” යන තේමාව යටතේ ප්‍රචලිත කිරීමට කටයුතු කරයි. ජෛව විවිධත්වය හරහා සිදුවන පාරිසරික ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය මගින්  කුසගින්න, ආහාර අහේනිය සහ මන්දපෝෂණයට ඇති විසඳුම් පමණක් නොව කාලගුණික විපර්යාසයන් අවම කිරීමටද, ජලය සහ පස සංරක්ෂණය කිරීමටද ඇති විසඳුම වේ. ජෛව විවිධත්වය පාරිසරික ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය හෝ කාබනික යෙදවුම් සහිත කෘෂිකර්මාන්තය හරහා කුඩා ගොවිබිම්වල විවිධ බෝග වර්ග වරින් වර වගාකර ලබාගන්නා අස්වැන්න ඒක වර්ග බෝගයකින් ලබා ගන්නා අස්වැන්නට වඩා ප්‍රමාණයෙන් පමණක් නොව පෝෂණයෙන් ද වැඩිය. මෙමඟින් අඩු වියදමකින් වැඩි ආදායමක් ද ලබාගත හැක.
ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ පසුගිය මහ කන්නයේ කරන ලද පරිසර හිතකාමී ගොවිතැන හරහා අක්කරයකට  අස්වැන්න වී බුසල් 73ත් 108ත් අතර ප්‍රමාණයක් ලබාගැනීමට හැකිවූ අතර පොහොර සහ කෘෂි විකර්ශක ඇතුළුව වියදම් වූ මුළු මුදලම රු.9000කට සීමාවිය. ගොවියකුට පොහොර සහනාධාරය ද ඇතුළුව රසායනික පොහොර හා අනෙකුත් ආදේශකයන් වලට යන මුදල රු.29000ක් පමණ වන අතර එම වී කිලෝවක් රජය මිලට ගත්තේ රු.50කට ය. කාබනික වී කිලෝවකට රු.100ක් වැනි අධික මුදලකට විකිණීමට හැකිවූ බවද ගොවියෝ පවසති. මෙම ක්‍රමවේදය යටතේ පාරම්පරික වී වඩාත් හොඳ ප්‍රතිඵල ලබා දුන් බවද අපි දනිමු. එසේම, මෙම ගොවිතැනින් පස, ජලය, ගොයම සහ අවට වාතය පමණක් නොව ක්ෂුද්‍ර ජීවීන්ද, ගොවිතැනට හිතකර කුඩා කෘමීන් වර්ගද ආරක්ෂා වන නිසා ස්වාභවික ජීව චක්‍රය මගින් ගොයමට හානි කරන කීඩව ද මර්දනය විය.
වී ගොවිතැන සම්පූර්ණ පරිසර හිතකාමී රසායනික පොහොර සහ ආදේශකයන් වලින් තොර ගොවිතැනක් බවට පත්කිරීම අභියෝගාත්මක වුවද මෙය ජයගත හැකි අභියෝගයකි. වී පර්යේෂණ සහ සංවර්ධන ආයතනය මගින් ඉදිරිපත් කර ඇති දත්තවලට අනුව මහ කන්නයට හෙක්ටයාර් 560,000 සහ යල කන්නයට හෙක්ටයාර් 310,000ක  කුඹුරු වගා කරයි.   මෙමගින් අවුරුද්දකට කිලෝ මිලියන 2.7 ක හාල් ප්‍රමාණයක අස්වැන්න ලබා ගැනීමට හැකිවී ඇත. ඒකපුද්ගල හාල් පරිභෝජනය අවුරුද්දකට කිලෝ 100ක ප්‍රමාණයක් වන අතර මෙය කිසිම ආකාරයකින් අඩු නොකිරීමේ වගකීමද අප මුහුණ දෙන අභියෝග වලින් එකකි. අද වෙළදපොළේ පාරම්පරික සහල් රු.250ත් රු.500ත් අතර මිලකට දැකිය හැක. නමුත් අපගේ අභිප්‍රාය වනුයේ කාබනික පොහොර යොදා පරිසර හිතාකාමී ලෙස පාරම්පරික සහල් රටේ සාමාන්‍ය ජනතාවටද මිළදි ගත හැකි වන පරිදි මෙහි අස්වැන්න වැඩි දියුණු කිරීමය.  එමනිසා නැවත වතාවක් අපගේ බීජ ගොවිපළවල් ශක්තිමත් කරමින් ආනයනික බීජ සහ ජාන විකෘති කළ බීජ ක්‍රමයෙන් අපගේ ගොවිබිම් වලින් ඉවත් කිරීමටද ක්‍රියාමාර්ග ගත යුතුය. මේ හරහා  විශාල විදේශ විනිමයක් ද ඉතිරි කර ගත හැකිය.
නිවැරදි ජල කළමනාකරණය, මෙම අභියෝග ජය ගැනීමට ඇති ප්‍රධානම අංගයක් බව පරිසර හිතකාමී කෘෂි විශේෂඥයෝ පවසා සිටිති. කන්න දෙක අතරට රනිල බෝග වගාව හරහා පස සාරවත් වනවා පමණක් නොව වඩා පෝෂ්‍යදායී ආහාර ආදේශකයන් අපගේ ආහාර පද්ධතියට එකතු කර ගැනීමටද හැකිවේ. ජෛව විවිධත්වය පරිසර පද්ධතිය ආරක්ෂා කරනවා සේම විවිධත්වයෙන් යුතු ආහාර ලබාගැනීමේ පෝෂ්‍ය ඵලදායිතාව, සෞඛ්‍ය සුරක්ෂිත භාවය වැඩිකරගත හැකි බවද විද්‍යාඥයෝ පවසති.
ලංකාවේ වී නිෂ්පාදනයෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක වගා කරන නැගෙනහිර පළාතේ ගොවියා, රසායනික පොහොර තහනම ඔහු ලැබූ ජයග්‍රහණයක් ලෙස සිතන බව මම හොඳින් දනිමි. ඔවුන්ට අවශ්‍ය වන්නේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මුල්‍යමය ශක්තිය හා බිත්තර වී පහසුවෙන් ලබාගත හැකි ක්‍රමවේදයක්ය. ගව පට්ටි හිමි ගොවියට පහසුවෙන්ම ඔවුන්ට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරගත හැක.  එබැවින් ගව සම්පතද ආරක්ෂා කර ගනිමින් එයද ගොවිතැනෙහි කොටසක් බවට පත් කර ගැනීමට හැකිවේ. ගෙවතු වගාවද තවතවත් දිරිමත් කිරීමට  මෙය අවස්ථාවක් කර ගත යුතුය. ගෙවතු වගාව හරහා ආර්ථිකයට සහ පරිසරයට වන දායකත්වය අවතක්සේරු නොකර මෙයද අපේ රටේ තිරසාර සංවර්ධනයෙහි අංගයක් බවට පත් විය යුතුය.
 දුප්පත්කමින් පමණක් නොව වකුගඩු රෝගයෙන් ද පීඩා විඳින ගොවිජනතාවට පරිසර හිතකාමී ගොවිතැන අස්වැසිල්ලක් වනු බව නොඅනුමානය. රසායනික පොහොර ආනයනය නවතා ඇ.ඩො. මිලියන 400කට ආසන්න ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට රජයට හැකි වුවද කාබනික පොහොර ආනයනය කළ හොත් මෙම ඉතිරිවන මුදල රටේ නිෂ්පාදන ක්‍රියාවලියට එක් කිරීමට ලැබෙන ස්වර්ණමය අවස්ථාව මඟ හැරී යනු ඇත.එබැවින් හැකිතරම් කුඩා ගොවිබිම් වලට ඔවුන්ගේම කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය මූල්‍යමය දායකත්වය ලබාදීමට ප්‍රමුඛතාවය දිය යුතුය.
ජාත්‍යන්තර කාබනික කෘෂිකාර්මික සම්මේලනයට (International Federation of Organic Agriculture Movements – IFOAM) අනුව ලෝකයේ හෙක්ටයාර් මිලියන 37.2ක් කාබනික කෘෂි වගාවහි යෙදේ.මෙයින් වැඩිපුර කාබනික කෘෂි වගා භූමි ඇත්තේ ඕස්ට්‍රේලියාව ආජන්ටිනාව සහ ඇමෙරිකාවටයි. ලෝකයේ සැම රටක්ම ආහාර සුරක්ෂිතභාවය පවත්වා ගැනීමට වසවිසෙන් තොර ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට යොමුවෙමින් පවතී. ඔවුන් විශ්වාස කරනුයේ කුඩා ගොවිපළවල් හරහා විවිධ භෝග වර්ග වරින්වර පැළ කිරීම වඩාත් දියුණු කෘෂි තාක්ෂණයක් ලෙසයි.
අන් සියල්ලම මෙන් කෘෂිකර්මාන්තය ද පරිණාමය වෙමින් පවතී. ලෝකයේ සෑම රටක් ම පරිසර හිතකාමී  කෘෂි කර්මාන්තයට ක්‍රමක්‍රමයෙන් යොමු වෙමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාව ම පරිසර හිතකාමී,  තිරසාර ගොවිතැන හරහා ලොව වසවිසෙන් තොර පළමුවන රට වීමට ලැබී ඇති මෙම අනගි අවස්ථාව සියලු දෙනාම එක්වී යථාර්ථයක් බවට පත්කර ගැනීමට උත්සුක වෙමු. එය සියළු ශ්‍රී ලාංකිකයන්ගේම යුතුකමයි.
නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත්