අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 7ක පවුල් 2,750ක් පීඩාවට

0
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පවුල් 2,750ක් පීඩාවට පත්ව සිටියි. පුද්ගලයින් 11,542 දෙනෙකු ඒ අතර වන බවයි,ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව අප කල විමසුමට පිළිතුරු දෙමින් ඔවුන් පැවසුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 325 ක පුද්ගලයින් 1,132ක්, කොළඹ පවුල් 270 ක පුද්ගලයින් 1,115 දෙනෙක්, ගම්පහ පවුල් 1,385ක පුද්ගලයින් 6,119 දෙනෙක්, මාතර පවුල් 663 ක 2,806 දෙනෙක් පීඩාවට පත්ව සිටින බවය.
මීට අමතරව කළුතර, කුරුණෑගල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලද පුද්ගලයින් පීඩාවට පත්ව ඇත. එමෙන්ම මේ වනවිට පහත්බිම් රැසක් ජලයෙන් යටව තිබේ. ප්‍රධාන ජලාශ 12ක වාන් දොරටු විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. දැදුරු ඔය ජලාශයේ පමණක් තප්පරයට ඝන අඩි 12,000ක් පමණ පහළට මුදා හරින බවත්  ඒ අනූව, එම ජලාශය පහළ ජනතාව අවධානයෙන් සිටීම ඉතාම වැදගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
තවත් ප්‍රධාන ජලාශ 15ක් උපරිම ජල මට්ටම කරා ළඟා වෙමින් පවති. කළුතර – නාගොඩ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් නාය අවදානමට ලක්ව තිබේ. පවතින අධික වර්ෂාපතනයත් සමග ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කළ නායයාමේ අවදානම් නිවේදනය අද රාත්‍රිය තෙක් බලපැවැත්වේ.
ගංවතුරෙන් ආපදාවට පත්ව සිටින පිරිස් වෙත සහන සැළසීමට තවත් නාවික හමුදා සහන කණ්ඩායම් 03ක් ස්ථානගත කර ඇත.
පවත්නා අධික වර්ෂාව හේතුවෙන් ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හමුවේ ආපදාවට පත්ව සිටින ජනතාව මුදා ගැනීමට සහ සහන සැළසීමට තවත් නාවික හමුදා සහන කණ්ඩායම් 03ක් ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානමක් සහිත ප්‍රදේශවල ස්ථානගත කිරීමට (2021 මැයි 14) සවස කටයුතු කෙරිණි.
මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ කූරවලාන හා බියගම ප්‍රදේශ ආවරණය වන පරිදි සහන කණ්ඩායම් දෙකක්ද (02) ගාල්ල, ඉමදූව ප්‍රදේශයේ එක් සහන කණ්ඩායමක් ද මෙලෙස ස්ථානගත කරන ලදී. ඒ අනුව මේ වන විට ගම්පහ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක තුළ ගංවතුර අවධානමක් සහිත ප්‍රදේශ ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් ස්ථාන ගතකරමින් එම ප්‍රදේශවල ආපදාවට පත් ජනතාව වෙත අවශ්‍ය සහයෝගය සහ සහන ලබා දෙමින් සිටී.
එමෙන්ම, පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මහජනතාවට සහන සැළසීමට හා අවශ්‍යතාවය මත කඩිනමින් ක්‍රියාත්මක වෙමින් අවශ්‍ය ඕනෑම විටක අමතර සහන කණ්ඩායම් යෙදවීමට නාවික හමුදාව සූදානමින් සිටී.