ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන 04ක් මෙරට භාවිතය තහනම්

0
ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග  04ක් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය තහනම් කිරීමට  පරිසර අමාත්‍යාංශය පියවර ගෙන  ඇති බව
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව අද (31) දිනයේ සිට අදාළ නිෂ්පාදන මෙරට භාවිතය තහනම් කර ඇත. එක්වරක් පමණක් භාවිතා කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික්, පෙට් බෝතල් PET bottles (PolyEthylene Terepthalate), මයික්‍රෝණ 20ට අඩු ලන්ච් සීට්, සැෂේ පැකට් ( ආහාර හා ඖෂධ නොවන) , කොට්න් බඩ් ( වෛද්‍ය  කටයුතු සඳහා යොදා නොගන්නා) හා සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ ද ඊට අයත් වේ.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ඉහත සඳහන් කළ ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය කිරීම හෙට සිට තහනම් කර ඇති බවය.
සමාගම් කිහිපයක් විසින් කරන ලද ඉල්ලීම් සළකා බලමින් දැනට නිපදවා අවසන් කර ඇති අදාළ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා මාස තුනක් වැනි කෙටි කාලයක් ලබා දෙන බව ද අවධාරණය කර ඇති  අමාත්‍යවරයා එම නිෂ්පාදන අපනයනය සඳහා කිසිදු බාධාවක් පනවා නොමැති බව ද එම සමාගම් මුළුමනින්ම දේශීය සමාගම් වන අතර ඇතැම් කර්මාන්තකරුවන් විසින් එම තහනම පැනවෙන බව දැන සිටියත් නව උපකරණ පවා ආනයනය කර සවිකර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
කෙසේ වුවද එසේ කරන ලද එක් සමාගමක අලුතින් ‍ගෙන්වන ලද උපකරණ නැවතත් ආනයනය කළ රටට ම යැවීමට තීරණය කර ඇති බව ද මේ වන විට මෙරටට ආනයනය කර ඇති අමුද්‍රව්‍යවලින් දැනට නිපදවා ඇති ද්‍රව්‍ය පමණක් අලෙවි කර ගැනීමට සීමිත සහන කාලයක් ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ. අදාළ ගැසට් පත්‍රය ද මේ වනවිට නිකුත් කර ඇත.