ගුවන්විදුලියේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවතට

0
By: මේඝා චින්තාමණි 
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල දැනුම් දී ඇත.
සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන නිපුන වාහලතන්ත්‍රී, ගාමිණී විජේසේකර මෙන්ම ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යාංශවල නියෝජිතයන්ට මෙලෙස ඉවත් වන ලෙසට දැනුම් දී තිබේ.
නුවරඑළිය උඩරදැල්ල ප්‍රදේශයේ පිහිටි ගුවන්විදුලි සංස්ථා විකාශනාගාරය පෞද්ගලික ව්‍යාපාරිකයකුට අනුමැතියකින් තොරව ලබාදීමට අධ්‍යක්ෂ මණ්ඩලය පියවර ගැනීම මෙවැනි තීරණයක් ගැනීමට ආසන්නතම හේතුව වී ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
එම ව්‍යාපාරිකයා විකාශනාගාර භූමිය ඩෝසර් කර ඇත. කාලයක් තිස්සේ ගුවන්විදුලියේ සභාපති විවිධ චෝදනාවන්ට ලක් වූ අතර ඒ පිළිබදව නිතරම වෘර්තිය සමිති ද කතා කළේය. නමුත් ඊට අවශ්‍ය පියවර මෙතෙක් ගෙන තිබුනේ නැත.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු සංඛ්‍යානයක් අනුමැතියකින් තොරව පෞද්ගලික අංශයට ලබාදීමටද සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කටයුතු කර ඇත. ඒ සම්බන්ධයෙන් ආයතනයේ සේවකයින් පිරිසක් පොලිස්පතිවරයාට ද පැමිණිලි කර ඇති බව එහි සාමාජිකයකු අප සමඟ පැවසුවේය.
එසේම මින් ඉහතදී ගුවන් විදුලි සංස්ථාවේ තිබු දුර්ලබ පියානෝ දෙකක් ආයතනයෙන් ඉවත්කර ගෙනයාම සම්බන්ධයෙන් වත්මන් සභාපතිවරයාට චෝදනා එල්ලවී ඇත. සභාපතිවරයාගේ වහනය ආරක්ෂක අංශ මඟින් පරික්ෂා නොකිරීම අරභයා එහි වාසිය ගනිමින් මෙය සිදු කර ඇති බවද ගුවන් විදුලි සංස්ථාවේ සාමාජිකයෙක් පැවසුවේය. එම පියානෝව ගුවන් විදුලි සංස්ථාවේ ආරම්භය සනිටුහන් කරන අමිල වස්තුවක් මෙන්ම රාජ්‍ය දේපලක් බවද ඔහු පැවසීය.
ගුවන් විදුලියේ සභාපතිවරයාගේ වංචා දුෂණ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කරුණු දක්වමින්, ජනමාධ්‍ය අමාත්‍යවරයාට යොමුකර ඇත. මේ පිළිබදව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ අදාල සිදුවීම් සමබන්දයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවය.