සජබ සමහර මන්ත්‍රීවරු එන්නත වර්ජනයක

0
සමඟි ජන බලවේගයේ සැලකිය යුතු මන්ත්‍රීවරුන් පිරිසක් කොරෝනා එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. එන්නත එලෙස ප්‍රතික්ෂේප කළ පිරිස අතර හරින් ප්‍රනාන්දු, මුජුබර් රහුමාන්, හේෂා විතාන, මනුෂ නානායක්කාර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් වෙති.
ඒ අනුව මේ පිලිබදව අප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ගෙන් කල විමසීමේදී ඔහු පැවසුවේ මහජනතාව කොරෝනා වෛරසයට නිරාවරණය වී සිටිය දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කලින්ම එන්නත විද ගැනීම යුක්ති සහගත නොවන බවය. එමනිසා ජනතාවට එන්නත ලබාදෙන තුරු තමා ද එන්නත ලබා ගැනීමෙන් වැළකී සිටින බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.
කොරෝනා වෛරසයට වැඩිපුරම නිරාවරණය වන්නේ එදා වේල හොයාගෙන කන ජනතාව බැවින් මුලින්ම එන්නත ලබා දිය යුත්තේ එම ජන කණ්ඩායම් වලට බව කී රහුමාන් මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ඇමැතිවරුන්ට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ පහසුකම් ඕනෑ තරම් තිබෙන බවද පැවසුවේය.
අවසානයේදී ඔහු පැවසුවේ වැඩ කරන ජනතාවට මෙන්ම රාජ්‍ය සේවකයන්ටද  එන්නත ලබා දුන් පසුව තමා එන්නත ලබා ගන්නා බවද මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.
සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීම පසුගිය (16) සිට ආරම්භ කළේය.