කවුරු කොහේ මොන රැස්වීම් තිබ්බත් ඔවුන්ට තනි ගමනක් නෑ

0
• ආණ්ඩුව තුල මතවාද තිබුණත් අභ්‍යන්තර ආරවුලක් නෑ.
• ඇමති විමල් සමග පැවැති මතවාදී ගැටලුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැදිහත්ව විසඳුවා
• කවුරු කොහේ මොන රැස්වීම් තිබ්බත් ඔවුන්ට තනි ගමනක් නෑ
– ඇමති ප්‍රසන්න රණතුංග කියයි
ආණ්ඩුව තුල මතවාද තිබුණ ද අභ්‍යන්තර ආරවුලක් නොමැති බවත් කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා සමග පැවැති මතවාදී ගැටලුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැදිහත්ව විසඳු බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ සිටින ඇතැම් පක්ෂ වලට තනි තනි ගමනක් නොමැති බවයි. ඒ නිසා කවුරුන් කෙලෙස කොහේ සාකච්ඡා කලත් අවසානයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුව ඉදිරියට යාමට සිදුවන බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
කොළඹ සිරිමාවෝ බන්ඩාරණායක අනුස්මරණ ශාලාවේදී පැවැති ප්‍රදර්ශනයක් විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් රණතුංග මහතා මෙම අදහස් පල කළේය. පසුගිය සිකුරාදා (12) පැවැති මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය පැවැත් වුනේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග සහ කර්මාන්ත ඇමති විමල් වීරවංශ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වීම විශේෂත්වයකි. Be Sri Lankan Buy Sri Lankan ප්‍රදර්ශනය සහ ලංකා පැක් සමුළුව හා ප්‍රදර්ශනය මෙම ශාලාවේදී එකම මොහොතේදිම පැවැත්විනි.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කිවේය.
 “ විමල් වීරවංශ ඇමතිතුමා එක්ක අපිට කිසිම ගැටලුවක් නෑ.එතුමා කියූ ප්‍රකාශයක් ගැන අපි අපේ විරෝධය පලකලා. ජනාධිපතිතුමත්, අගමැතිතුමත් ඒ ගැටලුවට විසදුමක් ලබා දුන්නා. මේක පක්ෂ කිහිපයක් එකතු වෙලා හදපු ආණුඩවක්. ආණ්ඩුව තුල කටයුතු කිරීමේදී ආණ්ඩුවේම අනෙකුත් පක්ෂ වල ක්‍රියාකාරිත්වය පිලිබඳව විවේචනයන් කිරිමේදි ඒ පිලිබඳව අපි සැලකිලිමත් විය යුතුයි. එහෙම වුනොත් තමයි අපිට ශක්තිමත්ව ආණ්ඩුව පවත්වා ගෙන යන්න පුළුවන්.
ප්‍රශ්නය – ඔබ ඉන්නේ කොයි පැත්තෙද ?
පිලිතුර – මම ඉන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ. මට පක්ෂයක් තියෙනවා. පොහොට්ටුව කියන්නේ මගෙ පක්ෂයි. මේ පක්ෂය නියෝජනය කිරීම මට ආඩම්භරයක්. පලාත් පාලන මැතිවරණයේදි පොහොට්ටුවෙන් ඉල්ලන්න ඕනෙ කියලා එලියට බැහැපු කෙනෙක් මම. ඔය සමහරු අද කෑගැහුවට එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙන්න ඕන කියපු අය තමයි ඒ.  මම මේ පක්ෂය වෙනුවෙන් ඕනෑම තැනක පෙනී ඉන්නවා. හැබැයි ආණ්ඩුවේ අපි අතර අර්බුදයක් ඇති නොවීමටත් අපි වගබලා ගන්නවා.
ප්‍රශ්නය – විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ නායකයන් කිහිප දෙනෙක් වෙනම ගමනක් යන්න හදනවා නේද?
පිලිතුර – ඔය කවුරු කවුරු මොන තැන් වල රැස්වුනත් අන්තිමේදී අප සමග එකතු වෙන්න වෙනවා.ඒ අයට තනි තනිව ගමනක් නෑ. තමන්ගෙ පක්ෂ අතර සාකච්ඡා තියෙන්න පුළුවන්. ඒක ප්‍රජාතාන්ත්‍රවාදී අයිතියක්.
ප්‍රශ්නය – විපක්ෂයේ ඉද්දි සතිපතා තිබුණු පක්ෂ නායක රැස්වීම් දැන් නෑ කියලා චෝදනාවක් තියෙනවා.
පිළිතුර  –  ඒ කාලේ කොවිඩ් තිබුනේ නෑ. කොවිඩ් නිසා අපේ හමුවීම් සිමා වෙලා. නමුත් අගමැතිතුමා තීරණය කලා 2015 පැරදුනැයි පස්සේ තිබුණු පක්ෂ නායක රැස්වීම නැවත තියන්න. එතකොට ඔය ප්‍රශ්න විසදෙනවා.
ප්‍රශ්නය –  ජනාධිපතිතුමා පක්ෂ නායකයා කරන්න විමල් විරවංශ මහතා උත්සහ කරනවා. ඒ ගැන මොකද කියන්නේ ?
පිලිතුර – ජනාධිපතිතුමාව ජනාධිපති අපේක්ෂකයා කලේ මහින්ද මහත්තයා. මහින්ද මහත්තයා  අපේ පරමාදර්ශී නායකයා. ජනාධිපතිතුමාව අපේ පක්ෂයේ නායකයා කරන්න අපිට ඔය කවුරු ඕනෙ නෑ. අගමැතිතුමාම අවශ්‍ය නම් එය කරාවි. අවශ්‍ය වෙලාවට එතුමා ඒ තීන්දුව ගනිවි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් මහින්ද මහත්තයාගේ නායකත්වය පිලි අරගෙන තියෙනවා. කාටවත් මහින්ද කියන අසහාය නායකයාව විවේචනය කරලා ඉදිරියට යන්න බෑ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව විවේචනය කරලා ඉදිරියට යන්නත් බෑ. ඒක හින්දා කවුරුවත් අපේ පක්ෂයේ නායකයා ගැන කලබල වෙන්න ඕනෙ නෑ.
ප්‍රශ්නය – ආණ්ඩුව හදන්න කැපවුණු සුළු පක්ෂ ආණ්ඩුවට රතු එලියක් දල්වා තිබෙනවා.
පිලිතුර – රතු නෙමෙයි පාට පාට එළි දැල්වුවත් වැඩක් නෑ. 2015 පස්සේ පොහොට්ටුව හැදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරපු අපිට පක්ෂයක් නැති හින්දා. ඔය සුළු පක්ෂ එදත් තිබ්බා. මේ පක්ෂය හැදුවේ බැසිල් රාජපක්ෂ මහත්තයා. අපි එහෙම පක්ෂයක් හැදුවෙ නැත්නම් අපිට යන එනමන් නැතුව යනවා. අපිට ආණ්ඩුවේ සුළු පක්ෂත් එක්ක ප්‍රශ්න නෑ. හැබැයි ඔවුන් වටහා ගත යුතුයි අපේ පක්ෂය වෙනම දේශපාලන පක්ෂයක්. ආණ්ඩුවේ එකට හිටියාට අපේ පක්ෂ නායකත්වය පිලිබඳව තීන්දු තීරණ ගන්න ඔවුන්ට බෑ.
ප්‍රශ්නය – ආණ්ඩුව පිහිටුවලා අවුරුදු 2ක් යන්නත් කලින් අභ්‍යන්තර ආරවුල් පටන් ගත්තාම කොහොමද රටක් දියුණු වෙන්නේ.
පිලිතුර – අපි එක එක පක්ෂ වලට විවිධ මතවාද තියෙනවා. හැබැයි ආණ්ඩුවේ පක්ෂ අතර අභ්‍යන්තර ආරවුලක් නෑ. යහපාලන ආණ්ඩුවට වෙච්ච දේ මේ ආණ්ඩුවට වෙන්න ඉඩ දෙන්නේ නෑ. යහපාලන ආණ්ඩුවේම අය ඒ ආණ්ඩුවේම අයට නයාට අදු කොළ වගේනෙ හිටියේ. එකිනෙකාගෙ කකුලෙන් ඇද්දා. ඒ නිසා රටේ ඉදිරි ගමන අඬාල වුනා. අපි අවශ්‍ය තැනදී කතා කරනවා. වාද කරගන්නවා. හැබැයි එකට එකතුවෙලා වැඩ කරනවා. විවිධ මතවාද තිබුණත් ඒකෙත් විපක්ෂයට වාසියක් වෙන්න අපි ඉඩ තියන්නේ නෑ.  ”