දේශීය ව්‍යවසායකයින්ට අන්තර්ජාතික වෙළදපොලට ප්‍රවේශවීම සදහා අවස්ථාවක් සළසනවා.

0
දේශීය ව්‍යවසායකයින්ට අන්තර්ජාතික වෙළදපොලට ප්‍රවේශවීම සදහා අවස්ථාවක් සළසනවා.
– මධ්‍යම ආණ්ඩුකාර ලලිත් යු ගමගේ කියයි.

දේශීය කර්මාන්තවල නියැලෙන ව්‍යවසායකයින් හට අන්තර්ජාතික වෙළදපොලට  ප්‍රවේශවීම සදහා අවස්ථාවක් සළසා දීම මගින් ඔවුන්ගේ නිෂ්පදාන සදහා හොද මිලක් ලබාදීම සදහා කටයුතු කිරීමට අපේක්ෂා කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසනවා. එම මහතා මේ බව සදහන් කර සිටියේ මධ්‍යම පළාතේ අඩු ආදායම් ලාභී ව්‍යවසායකයින් සහ කාන්තා ව්‍යවසායකයින් දිරිගැන්වීම සදහා මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේ (20) පැවති ප්‍රග්ධන උපකරණ බෙදා දීමේ වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වු අවස්ථාවේදීයි. මෙහිදී රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමින් යුත් ප්‍රග්ධන භාණ්ඩ ප්‍රතිලාභීන් 131 දෙනෙකු සදහා බෙදා දීම සිදුවු අතර,  අධිවේගී මහන මැෂින් 16ක්, විදුලි උදුන් 18ක්, ඔවර්ලොක් මැෂින් 30ක්, රූපලාවන්‍යගාර පුටු 06ක්, සාමාන්‍ය මහන මැෂින් 9ක් ද එම උපකරණ අතරට අයත්ය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ  ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ මහතාගේ ‍”සෞභාග්‍ය දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ඔස්සේ ග්‍රාමිය ආර්ථිකය සංවර්ධනය කිරීම සදහා විශාල ආවධානයක් යොමු ව ඇති බවත් ඒ ඔස්සේ 2021 අයවැය මගින් ග්‍රාමිය ආර්ථිකය නගා සිටුවීම මගින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා ප්‍රමුඛතාවයක් ලබා දී ඇති බවයි. මෙම උපකරණ බෙදා දීමේ අවස්ථාව සදහා පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් මධුපාන පියසේන, ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිලධාරී හිටපු මධ්‍යම පළාත් සභා නියෝජ්‍ය සභාපති එස්.බී.රත්නායක, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් උපුල් මහින්දරත්න, පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ සමීර රත්නායක යන මහත්වරුන් ද එක්ව සිටියේය. ප්‍රග්ධන උපකරණ බෙදා දීමෙන් අනතුරුව පළාත් කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේ ස්ථාපිත බතික් රෙදිපිළි අලෙවිසැලද ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට ලක් විය.