සාර්ථක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

0
රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 40,000 ක බිල්පත් නිකුත් කර තිබේ. මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ භාණ්ඩාගර බිල්පත් ප්‍රමාණයටම සරිලන පරිදි ලංසු පිළිගැනීමක් සිදුවූයේ සති 10කට පසුව වීම විශේෂත්වයකි.
ඊයේ 06වනදා සිදු කර ඇති මෙම වෙන්දිසිය එක් එක් කල්පිරීමේ කාණ්ඩ අනුව පොළී අනුපාතික දින 90 – 4.71% ක්, දින 182 – 4.80% ක් හා දින 364 – 5.05% ක් වශයෙන් විය.
මීට පෙර සතිවල දීද රු. මිලියන 40,000 බැගින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණ ද 2020 දෙසැම්බර් 30 – රු. මිලියන 18,769
2020 දෙසැම්බර් 22 – රු. මිලියන 20,718, 2020 දෙසැම්බර් 16 – රු. මිලියන 26,842, 2020 දෙසැම්බර් 09 – රු. මිලියන 25,892, 2020 දෙසැම්බර් 02 – රු. මිලියන 34,317, 2020 නොවැම්බර් 25 – රු. මිලියන 37,436, 2020 නොවැම්බර් 18 – රු. මිලියන 7,650, 2020 නොවැම්බර් 11 – රු. මිලියන 9,190, 2020 නොවැම්බර් 04 – රු. මිලියන 19,011, 2020 ඔක්තෝබර් 27 – රු. මිලියන 32,492, 2020 ඔක්තෝබර් 21 – රු. මිලියන 40,000 ලෙස ඒ  සඳහා ලංසු අනුමත විය.
භාණ්ඩාගාර බිල්පතක් යනු 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ (සංශෝධිත පරිදි) ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද කෙටි කාලීන ණය උපකරණයක් වන අතර එය රජයේ අයවැය අවශ්‍යතා සඳහා යොදා ගැනේ. භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළ මුදල් වෙළෙඳපොළේ තවත් එක් කොටසකි. ශ්‍රී ලංකා මහ බැංකුව එහි විවිට වෙළෙඳපොළ කටයුතු හැසිරවීමේ දී භාණ්ඩාගාර බිල්පත් ප්‍රධාන ඇපකරයක් ලෙස යොදා ගනී.
ඉහළ ද්‍රවශීලතාවකින් යුත් මුදල් වෙළෙඳපොළ උපකරණයක් වන භාණ්ඩාගාර බිල්පත් මූල්‍ය ආයතනවලට විකල්ප ද්‍රවශීලතා සහ ආයෝජන මූලාශ්‍ර සපයයි.
තව ද, භාණඩාගාර බිල්පත් වෙළෙඳපොළෙහි පොලී අනුපාතිකයේ විචලනයන් කෙටිකාලීන වෙළෙඳපොළ පොලී අනුපාතිකවලට පදනමක් ද ලබා දෙයි.  එසේ හෙයින් භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළේ ගනුදෙනු පරිමාව හා පොලී අනුපාතිකයන්හි වෙනස්වීම මූල්‍ය ආයතනවල වියදම, ලාභදායිත්වය හා ද්‍රවශීලතාව කෙරෙහි ද බලපායි.