ආචාර්ය දයාන් ජයතිලක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජාත්‍යන්තර කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක

0
ප්‍රවීණ දේශපාලන න්‍යායාචාර්යවරයෙක්, විශ්ලේශකයෙක් මෙන්ම ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වන ආචාර්ය දයාන් ජයතිලක මහතා විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස පත්කරනු ලැබීය.
ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් දේශපාලන සහ සමාජ මතවාද මෙන්ම ප්‍රවනතා පිළිබඳව ප්‍රාමාණිකයකු වන දයාන් ජයතිලක මහතා 2007 ජුනි සිට 2009 ඔක්තෝබර් දක්වා කාලය තුළ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා ද විය. රටවල් කිහිපයක තානාපති ලෙස සුවිශේෂී භූමිකාවක් නිරූපණය කළ ඒ මහතා, ප්‍රවීන දේශපාලන විචාරකයෙකු මෙන්ම කතෘ වරයෙකුද වේ.
කලක් ලංකා ගාඩියන් සඟරාවේ කර්තෘවරයා ලෙස කටයුතු කළ හෙතෙම, ප්‍රමුඛ පෙළේ තීරු ලිපි රචකයෙක්ද වෙයි. The Fall of Global Socialism, LONG WAR, COLD PEACE, Fidel’s Ethics Of Violence වැනි කෘති රැසක සම්පාදකවරයා වන්නේද දයාන් ජයතිලක මහතා ය.
කලක් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උපදේශකවරයෙකු ලෙසද ඔහුගේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ (1990–94) ගැටුම් අධ්‍යයන අධ්‍යක්‍ෂවරයා ලෙසද, පසුව ප්‍රේමදාස මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ (1994-2000) ලෙසද කටයුතු කළේය. ඒ මහතා 1989 කාලයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම මෙන්ම අවසාන උතුරු-නැගෙනහිර පළාත් සභාවේ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍යවරයාද විය.