මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අභියෝගතා කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය

0

ක්‍රීඩාවේ අරමුණ ජයග්‍රහණය පමණක් නොවේ .
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා .

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අභියෝගතා කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය 26,27 දෙදින මහනුවර  අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති අතර එහි ජයග්‍රාහකයින් වෙත කුසලාන පිරිනැමීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (27) පැවැත්විය.

මෙහි ප්‍රවීණයන්ගේ අවසාන තරගය මහනුවර නගර සභා කණ්ඩායම සහ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කණ්ඩායම අතර පැවති අතර ඉතා හොඳ තරගයකින් අනතුරුව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කණ්ඩායම ජයග්‍රහණය ලැබීය.

විවෘත අංශයේ තරගාවලියේ අවසන් මහා තරගය දකුණු පළාත් සභා කණ්ඩායම හා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කණ්ඩායම අතර පැවති අතර එය ඉතා උණුසුම් තරඟයක් වූ අතර,  මෙම තරගය විනිසුරු තීරණ පිලිනොගැනීමේ හේතුවෙන් මෙන්ම තරග කරුවන්ගේ දැඩි අවේගශිලි හැසිරීම් නිසා තරගය අතර මැද නතර කිරීමට සිදුවිය.  මෙහිදී ක්‍රීඩාවේ ජීව ගුණය හා ක්‍රිකට් ක්‍රිඩාවේ මහත්මා ගුණය පෙන්වමින් තරගයේ ජයග්‍රහණය දකුණු පළාත් සභා කණ්ඩායම වෙත පිරිනැමීම සදහා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කණ්ඩායම  කටයුතු කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ පැසසුමට ලක් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ක්‍රීඩාවේ අරමුණ ජයග්‍රහණය පමණක් නොව ජය පරාජය සම සිතින් පිලිඟනිමින් සමගිය, එකිනෙකාගේ සුහදතාවය වර්ධනය වගේම ශාරීරික මානසික සුවතාවය ද වන බවත් දකුණු පළාතේ පුරවැසියෙකු ලෙසද, දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වරයකු ලෙසද, ගාලු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ හා ගාල්ල ක්‍රිකට් සමාජයේ භාණ්ඩාගාරිකවරයා වශයෙන් ක්‍රියා කළ ලෙස අද දින සිදුවූ සිදුවීම් අනුමත නොකරන බවත් එය ක්‍රීඩාවේ ජිව ගුණයට හානියක් බවත් මෙහිදී මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කණ්ඩායම කටයුතු කළ ආකාරය ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය විදහා දක්වන ලද සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකි බවත් ගාලු පුරවැසියෙකු ලෙස සියලු දෙනාගෙන් මෙම සිදුවීම සම්බන්ධව සමාව ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කොට සිටියේය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් අධ්‍යාපන හා ප්‍රධාන අමාත්‍යංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාස, අනුග්‍රාහක ආයතන නියෝජනය කරමින් පැමිණි අනුග්‍රාහක භවතුන් ඇතුළු පිරිසක් ද සහභාගී විය.