Political fact / දේශපාලන කතාබහ

0
By:අශන්ති වරුනසුරිය 
2022 Budget එක බැසිල් පාන්දර 3වෙනකල් හදලා 
2022 වර්ෂයට අදාළ අයවැය ලේඛනය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් 12වනදා පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මෙය මෙරට 76 වන අයවැය ලේඛනය වන අතර 2022 සඳහා රජයේ අපේක්ෂිත ආදායම රු බි 2,284ක් බවත් අපේක්ෂිත වියදම රු බි 3,912ක් වන අතර, ඒ අනුව අයවැය පරතරය රු බි 1,628ක් ඒ අනුව අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 8.8%ක් ලෙස සටහන් විය.
බැසිල් ඉදිරිපත්කල අයවැය කතාව සේරම අහන හිටපු විපක්ෂ නායකවරයා “මේ රට ගොඩනගනවා වෙනුවට මේ රට තවදුරටත් අගාධයකට රැගෙනයන අයවැයක් ආණ්ඩුව ඉදිරිපත් කළ බවත් මේ අයවැය අංක ගණිත ජිල්මාට් එකක් පමණක් බව පැවසීය.
“රටේ ජනතාව අපේක්ෂා කළේ ප්‍රගතිශීලී අයවැයක්. නමුත් ලැබුනේ හිස් ප්‍රලාපයක්. ජනතාව බලාපොරොත්තු වුණේ ජනතාවාදී අයවැයක්. නමුත් ලැබුණේ ප්‍රතිගාමී පුස්සක්. මේ අයවැයේ කිසිම ව්‍යුහාත්මක බවක් නෑ. අයවැය හිගය අවම කරන සැලැස්මක් නෑ. ජීවන වියදම, උද්ධමනය නිමා කරන්න වැඩපිළිවෙළක් නෑ. ජන ජීවිත ගොඩනගන වැඩපිළිවෙළක් නෑ. ගොවියා නගාසිටුවන ක්‍රමවේදයක් නෑ. ආදායම් උත්පාදන ක්‍රමවේදයක් නෑ.කෙටියෙන් කීවොත් මේ අයවැය, සෝමාලියානු පන්නයේ අයවැයක්. මේක ජනතාව රවට්ටපු අයවැයක්. තමන්ගේ හිතවතුන් සතුටු කරන අයවැයක් මිස, රට ගොඩනගන වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නෑ. කෙටිකාලීන මධ්‍යකාලීන දිගුකාලීන වැඩපිළිවෙළක් නැති හිස් ලියවිල්ලක්. ව්‍යසනයෙන් පීඩා විදින ජනතාවට අයවැයෙන් තවත් ප්‍රහාරයක් එල්ල වුණා. ඒ විතරක් නෙවේ,රාජ්‍ය සේවකයින්ට, පෞද්ගලික අංශ සේවකයින්ට කිසිම වැටුප් වර්ධක කිසිවක් නැති අයවැයක්. කොටින්ම කීවොත් ජනතාව අමතක කොට තමන්ගේ හෙංචයියන්ට උවමනා විදිහට හදපු ලියවිල්ලක්.” යනුවෙන් කියාගෙන ගියේය.
කොහොමවුණත් අයවැය ඉදිරිපත් කරන්න කලින් අයවැය තියාගෙන පාන්දර තුන වෙනකන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අයවැය ගැන සාකච්චා කර තිබේ. අයවැය සකස් කිරීමට පෙර ඔහු ශේෂ්ත්‍ර 100කට අධික පිරිස සමඟ එකතු වී සාකච්චා කර ඇති බවත් සඳහන් වේ. එහිදී සියලුම ශේෂ්ත්‍ර වල පිරිස සහන ලබා දෙන්නැයි ඉල්ලා ඇත. නමුත් රට අමාරුවෙන් තිබෙන අවස්ථාවක සහන ලබා දීමට නොහැකි බවත් මෙහිදී බැසිල් පවසා ඇති බවත් සඳහන් වේ. එමෙන්ම තවත් පියවරක් ලෙස ගම සමඟ පිලිසදරක් වැඩසටහනට සමගාමීව විවිධ ප්‍රදේශ වල ජනතාවත් හමුවී මහජනතාවගේ අදහසුත් අයවැයට ගැනීමට කටයුතු කර ඇති බවත් සඳහන්.
මුතුරාජවෙල ගැන විවේචන බොහොමයක් සිදු වෙද්දී මේ ගැන විශේෂ කතාවක් පසුගියදා සිදු වී ඇත. බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් නාලක ගොඩහේවා මහින්ද අමරවිර නිමල් ලන්සා වගේ කට්ටිය මීට එකතු වී ඇත. ” අපිට මේක දිගටම ගියොත් ගමෙත් ජිවත් වෙන්න බැරි වෙනවා” යනුවෙන් නිමල් ලන්සා බෙහෙවින්ම ආවේග ශිලිව පවසා ඇත. ඒ අනුව පිරිස පෙන්වා දී ඇත්තේ මෙය නිලධාරීන්ගේ අනුදැනුමින් සිදු වී ඇති දෙයක් ලෙසටය. කෙසේවෙතත් බොහොමයක් කතා වලින් පසුව බැසිල් “හරි දැන් AC කාමර අස්සට වෙලා ඉදලා, තීන්දු තීරණ ගන්න එපා. බිමට ගිහින් හොයල බලා අවශ්‍ය තීරණ ගන්න” යනුවෙන් එතන සිටි මන්ත්‍රී කණ්ඩායමට නියෝග කර ඇත.
රටපුරා ගංවතුර අවධානම දරුනුවටම සිදු වෙද්දී මේ ගැන හොයන්න නාමල් රාජපක්ෂ කටයුතු කරමින් ගංවතුරෙන් අවතැන් වූ අයට නිවාස දෙන්න වැඩපිළිවෙලක් සකසන්නැයි නිවාස බාර ඇමතිට දන්වා ඇත. ඒවගේම පුත්තලම ඉස්සන් වගා කරුවන්ගේ තත්වය සොයා බලන්නත් රාජ්‍ය අමාත්‍ය කාංචනට පවසා තිබේ. ගංවතුරට බොහොමයක් ඉස්සන් ගසා ගෙන ගොස් ඇති බවත් සඳහන් වේ. එහිදී ඉස්සන් වගා කරන ජනතාවට සහන ලබා දීමටත් අදාලව කටයුතු සම්පදනය කරන්නැයි ද නාමල් පවසා තිබේ.
මැදමුලනේ පසුගියදා රාජපක්ෂ දෙමව්පියන් වෙනුවෙන් දානමය පින්කමක් පැවැත්විය. ඒ සඳහා මැති ඇමතිවරු රැසක් සහභාගී වී සිටි අතර මෙහිදී හාල් හිඟය වගේම රටේ තිබෙන ප්‍රශ්න කිහිපයක් ගැන ජනාධිපති සුහදව මැති ඇමතිවරුන් සමඟ සාකච්චා කර තිබෙන බවත් කියැවේ. ඔහොම වෙද්දී එක්සත් ජාතික පක්‍ෂය එජාපයෙන් වෙන්වූ පිරිස නැවත පක්ෂයට එකතු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. එහිදී රවී, නවීන්,අර්ජුනට ත් නැවත කතා කර ඇත.එහිදී පක්ෂයේ සිදුවිය යුතු වෙනස්කම් කිහිපයක් සම්බන්දයෙන් ඔවුන් පවසා තිබේ.  එජාපයේ පවතින නිලතන වෙනස් කිරීම,  නියෝජ්‍ය නායකධූර 3ක්, උප නායකකම් 3ක් ලබා දිය යුතු බවට ඔවුන් පවසා ඇතැයිද වාර්තා වේ. කෙසේවෙතත් මේ ගැන රනිල් වික්‍රමසිංග දැනුවත් කරද්දී මේක අහන හිටපු රුවන් විජේවර්ධන මෙසේ පවසා ඇත. “පක්ෂේ හදන්න පක්ෂේ ඉදිරියට යනවා නම් මම ඕනෑම තනතුරක් අතහරින්න කැමතියි. මට කොහොමත් නායකකම් අවශ්‍ය නැහැ”. එලෙස කතා යද්දී එජාපයේ ප්‍රතිසංවිධාන කටයුතු වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙමින් තිබේ.
සබ්රි ඉවත් වෙන්න ලියලා 
ඥානසාර හිමි සමඟ පත්වූ එක රටක් එක නීතියක් පත්කිරීමෙන් පසු දැඩි තීන්දුවක් ගත් සබි්‍ර තවදුරටත් අධිකරණ අමාත්‍ය ධුරයේ සිටීමෙන් ඵලක් නොවන බවට තීන්දුවක් ගත්තේය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම තීන්දුව ගැනීම සඳහා සබි්‍රට අතිශය හිතවත් ජනාධිපති නීතිඥවරුන් කිහිප දෙනකුගේම සහාය ලැබී ඇතැයි කියාය. එහිදී ඉදිරියෙන්ම සිටින්නේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාත්, ජනාධිපති නීතිඥ ගාමිණී මාරපනත් බව කියැවේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ රොමේෂ් සහ මාරපන සබි්‍රට කතා කොට නැවත අධිකරණය හමුවේ පවතින නඩුවලට පෙනී සිටින ලෙසට ආරාධනා කර ඇති බවත්, ඉහළ පෙළේ නඩු ගණනාවක්ම සබි්‍රට ලබාදීමට කැමැත්ත පළකොට ඇති බවත්ය.
යෝෂිත විමල්ට කෑමකට එන්න කියලා 
මහින්දගේ දෙවැනි පුතා මෙන්ම අගමැති කාර්යමණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කරන යෝෂිත රාජපක්ෂ විමල්ට කතා කළ යෝෂිත දැනට මතුව ඇති ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අගමැතිවරයා සමග රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සහිත සාකච්ඡාවක් සූදානම් කොට ඇත. “මේ ආරාධනාව මට කළාට ඔබතුමාට බොහොම ස්තුතියි. මට ඔබතුමාගෙ පියා ගැන දේශපාලන වශයෙන් විශාල ගෞරවයෙක් තියෙනවා. ඒක එදත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි. හැබැයි දැන් මෙතැන මතුවෙලා තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්. එහෙම දේශපාලන ප්‍රශ්නයක් මතුවෙලා තියෙද්දී මම විතරක් ඇවිත් අගමැතිතුමා එක්ක සාකච්ඡා කරන එක සදාචාරාත්මක නෑ. ඒ නිසා අපි මේක දේශපාලන වශයෙන් විසඳගමු.’ යනුවෙන් කියමින් විමල් එම ආරාධනාව ප්‍රතික්ෂේප කර තිබේ.
ජයවර්ධන මුනුපුරාටත් සජිත්ගෙන් ආරාධනා
මේ ආකාරයටම සජිත් පසුගිය සතියේදී තවත් විශේෂ චරිත ගණනාවක්ම මුණගැසී සමගි ජනබලවේගය ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබූ ආකාරයක් දැකගත හැකි විය. රට වටා යන අතරතුරදී වැඩි කතාබහක් නැතිවම මෙම කටයුතු තීන්දු කර සිදුකිරීම සජිත්ගේ කලාවය. ඒ අනුව පසුගිය සතියේදී පැවැති හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ගුණානුස්මරණ දිනයේදී සජිත් අවිස්සාවේල්ල රෝහලට සෞඛ්‍ය උපකරණ භාරදීමේ ‘විපක්ෂයෙන් හුස්මක්’ වැඩසටහන යොදාගෙන තිබිණි. මෙහිදී සජිත්, ජයවර්ධන පවුලේ එකම දේශපාලන පුරුක වන ජේ.ආර් මුණුබුරු ප්‍රදීප් ජයවර්ධනටද ඒ සඳහා සහභාගි වන ලෙස ආරාධනා කිරීමට පියවර ගත්තේය.
රනිල් ප්‍රදීප් ගැටුම
ප්‍රදීප් යනු මුලින් එජාපය සතුව සිටි ප්‍රධාන තුරුම්පුවක් වුවත් 1994දී රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂ නායකත්වය භාරගැනීමත් සමග ප්‍රදීප්ට පල නොකියා පළා බෙදන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබිණි. ඊට හේතු වූයේ එජාප නායකත්වය ලබාගන්නා සටනේදී ප්‍රදීප්, රනිල් වෙනුවට ගාමිණී දිසානායක මහතාගේ පැත්ත තෝරාගැනීමය. රනිල්ගේ සිතේ ප්‍රදීප් කෙරෙහි පැවැති මේ වෛරයේ අවසානය වූයේ ජේ.ආර්.ගේ එකම මුනුබුරා ශ්‍රීලනිපය වෙත ගමන් කිරීමය. ප්‍රදීප් ඉවත් කොට එම තැනට රුවන් විජයවර්ධන රැගෙන ඒමට රනිල් උත්සාහ කිරීමද මේ පසුපස විය. අද ප්‍රදීප් ශ්‍රීලනිපයේ කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකි.
එසේ වුවත් ප්‍රදීප් සිය සීයාගේ අනුස්මරණය වෙනුවෙන් සහභාගි වන ලෙසට සජිත් කළ ආරාධනාව එක සිතින් පිළිගෙන ඊට සහභාගි වීමට පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය. එහිදී උත්සවය අතරතුර සජිත් හා ප්‍රදීප් අතර දීර්ඝ දේශපාලන සාකච්ඡාවක් සිදුවන ආකාරයක් දැකගන්නට ලැබිණි. එම සාකච්ඡාවේදී සජිත් කියා සිටියේ ජේ.ආර්. යුගය යනු එජාපයේ ස්වර්ණමය යුගය බවත්, ප්‍රදීප්ගේද ජන්ම උරුමය පවතින්නේ එජාපය නියෝජනය කරන සමගි ජන බලවේගය ඇතුළේ බවත්ය. එම නිසා තමන් සමග එකතුවී යළි ජේ.ආර්., ප්‍රේමදාස යුගයක් බිහිකිරීමට අත්වැල් බැඳගන්නා ලෙස ප්‍රදීප්ගෙන් ඉල්ලා සිටීමටද සජිත් පියවර ගත්තේය.
ප්‍රදීප්, ඔයාගෙ අක්මුල් තියෙන්නේ ඔතන නෙවෙයි මෙතැන. ඔයාගෙ සීයයි අපේ තාත්තයි එකට දේශපාලනය කළේ. ඒ කාලෙ තමයි එජාපයේ ස්වර්ණමය යුගය. දැන් අපි ආයෙමත් ඒ කාලය බිහිකරන්න ඕනෙ. ඔයා අපිත් එක්ක එන්න. මම ඔයාට කොළඹ ලෑස්ති කරලයි තියෙන්නේ. හැබැයි ඔයාට ඕනෙ නම් සීයා තරග කරපු කැලණිය දෙන්නත් මම සූදානම්…’ යනුවෙන් සජිත් කියද්දී ඊට ප්‍රදීප්ගෙන් ලැබුණේ ධනාත්මක ප්‍රතිචාරයකි. නමුත් ඊට කොන්දේසියක් ඉදිරිපත් කිරීමටද ප්‍රදීප් කටයුතු කළේය.
‘ඔබතුමාගෙ ආරාධනාවට බොහොම ස්තුතියි. හැබැයි මට ඒකට ටික කාලයක් ඕනෙ. මොකද මම දැනට ශ්‍රීලනිපයේ නාගරික මන්ත්‍රීවරයෙක්. අනෙක මට ශ්‍රීලනිපය හොඳට සැලකුවා. ඒ නිසා තීන්දුවක් ගන්නවා නම් මට ඒකට ටික කාලයක් ඕනෙ…’ යනුවෙන් ප්‍රදීප් කියද්දී සජිත් ඊට එකඟතාව පළ කළේය.
‘ඔයා ඕන කාලයක් ගන්න. මොකද අද හෙට ඡන්දයක් නෑනෙ. ඔයාගෙ වචනෙ එනකල් මම කොළඹ තියාගෙන ඉන්නවා…’ යන්න සජිත් ඊට දුන් පිළිතුර විය.