අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මැතිතුමා සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්

0
වසරක පමණ කාලය තුළ යල් පැන ගිය නීති 60 ක් පමණ හදුනා ගෙන වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
• අපේ අයිතිවාසිකම් මෙන්ම වගකීම් හා යුතුකම් පිළිබදව අවබෝධයෙන් අවසාන ඉලක්කයක් ඇතිව කටයුතු කළ යුතුයි.
• අපි සියලු දෙනා නිදහස් අධ්‍යාපනයේ දරුවන් යැයි කල්පනා කරමින් රට වෙනුවෙන් නිවැරදි දේ හැම විටම සිදු කළ යුතුයි.
                                                                                      අධිකරණ ඇමති පවසයි.
ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මැතිතුමා මෙම අදහස් පළ කළේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හා එම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ප්‍රධානීන් සමඟ (2021.10.12) රාජගිරියේ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවතී හමුවකදීය.
එහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යතුමා සදහන් කරන ලද්දේ අපි සියලු දෙනා තමන්ට පැවරෙන වගකීම රට වෙනුවෙන් ඉටු කිරීමට කැපවී කටයුතු කළ යුතු බැවින් අපි කරනු ලබන ක්‍රියාව හෘද සාක්ෂියට එකඟව සිදු කරන්නේ නම් කිසිදු ප්‍රශ්නයක් තමන්ට නොමැති අතර, ඒ සිදු කරනු ලබන ක්‍රියාව මේ අපේ රට බව කල්පනා කර සිදු කළ යුතු බවත්, ඉදිරි දැක්මක් ඇතිව කටයුතු කිරීම තවදුරටත් සාර්ථක කර ගැනීමට නම් සියලු දෙනාගේ අදහස් ලබා ගනිමින් යම් කිසි ක්‍රමවේදයකට අනුව  ඉදිරියට යා හැකි බවයි.
රටක් වශයෙන් සිදු කළ යුතු වන්නේ අපේ වගකීම හා යුතුකම ඉටු කිරීම බවත් එසේ තමන්ට පැවරී ඇති යුතුකම් හා වගකීම් නිසි පරිදි ඉටු කළ විට යම් දිනක සතුටු විය හැකි බවත්, රාජ්‍ය සේවකයින් ලෙස අපේ අයිතිවාසිකම් මෙන්ම වගකීම් හා යුතුකම් පිළිබදව අවබෝධයෙන් අවසාන ඉලක්කයක් ඇතිව කටයුතු කළ යුතු බවත්, Reserch and Development සිදු නොකර ඉදිරියට යා නොහැකි බවත්, ලොව දියුණු රටවල් ඉදිරියට ගොස් ඇත්තේ මෙම කරුණු දෙක හේතුවෙන් බවත් ,අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේය.
නිවැරදි දේ අවංකව සිදු කළ යුතු අතර අපි මේ සියල්ල සිදු කරන්නේ මේ රට ජනතාව අනාගත පරපුර වෙනුවෙන් යැයි කල්පනා කළ සිදු කළ යුතු බැවින් අපේ වගකීම හා යුතුකම් පැහැර හැරීම යනු අපේ අනාගත පරපුර ගැන නොසිතමින් කටයුතු කිරීම බවත් අපි සිදු කරන්නේ නිවැරදි දේ නම් කවුරුන් කුමන ආකාරයේ දේ ප්‍රකාශ කළ ද ප්‍රශ්නයක් නොමැති බවත් අපි සියලු දෙනා නිදහස් අධ්‍යාපනයේ දරුවන් යැයි කල්පනා කොට අපි මේ තනතුරට පැමිණ ඇත්තේ අහිංසක ජනතාවගේ බදු මුදල් හේතුවෙන් බවත් ,අමාත්‍යතුමා පවසන ලදී.
වසරක් වැනි කාලය තුළ යල් පැන ගිය නීති 60 ක් පමණ හදුනා ගෙන වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති අතර ,පසුගිය වසර 20 කාලය තුළ අධිකරණ ආමාත්‍යාංශය විසින් නීති 60 ක් සංශෝධනය කර නොමැති බවත්, විශේෂයෙන් අධිකරණ පද්ධතියේ අපරාධ, වාණිජ හා සිවිල් නීති ප්‍රතිසංස්කරණ සිදු කිරීම සදහා කමිටු තුනක් පත් කර ඒ කමිටු යටතේ අනු කමිටු පත් කර නීති ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදු කරමින් ඇති බවත්, අධිකරණ ක්ෂේත්‍රයේ ඇති ගැටළු හදුනා ගනිමින් අවශ්‍ය විසදුම් ලබාදීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බවත්, බදු පදනම මත දේපළ ලබා දුන් පසු නැවත ලබා ගැනීම පිළිබඳව ගැටළු පවතින බැවින් ඒ සදහා නව නීතියක් පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඉදිරිපත් කර එවැනි ගැටළු ඇති වු අවස්ථාවල දී අධිකරණයට එන නඩුවක් වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ බඳු පදනම මත ලබා දුන් දේපළ නැවත ලබා ගැනීමේ ක්‍රමවේදය පහසු කිරීමට කටයුතු කරන බව ද, අමාත්‍යතුමා සදහන් කරන ලදී.
අපේ රටේ ජනතාව වසර දහස් ගණනක් තිස්සේ ජාතීන් හා  ආගම් අතර සංහිදියාවෙන් එකිනෙකාගේ සංස්කෘතීන්ට ගරු කරමින් කටයුතු කළ බවත්, ඒ සහෝදරත්වය අන්තවාදී සුළු කොටසකට විනාශ කිරීමට ඉඩ නොදී ආරක්ෂා කිරීමේ අතිශයින් වැදගත් වන අතර ජාතික ආරක්ෂාව සුරක්ෂිත වන පරිදි රටේ ජනතාවගේ අයිතීන් ආරක්ෂා වන පරිදි ක්‍රියා කිරීම වැදගත් බවත්, යම් අයෙක් ජාතික ආරක්ෂාවට ජාතීන් අතර සුහදත්වයට හානි දායක දෙයක් සිදු කරන්නේ නම් රටට ජාතියට හානි කරන වෙනත් දෙයක් නොමැති බව ද අමාත්‍යතුමා මෙහිදී සදහන් කළේය.
සිරකරුවෝද මනුෂ්‍යයෝය යනුවෙන් සදහන් කරමින්  ප්‍රකාශයන් සිදු  කිරීමටත් වඩා අප විසින් කළ යුතුව ඇත්තේ සිරකරුවන් ද අපේ රටේම ජනතාව වන බැවින් ආදරය හා කරුණාව ඔවුන් වෙනුවෙන් දැක්වීම බවත්, ජාත්‍යන්තර ප්‍රජාව විසින් අපේ රටේ මානව හිමිකම් සුරක්ෂිත වීම, සිරකරුවන් පිළිබදව දක්වන ආකල්ප, ජාතීන් අතර සහයෝගය වැනි කරුණු පිළිබදව විමසිල්ලෙන් කටයුතු කරන බවත් අමාත්‍යතුමා මෙහිදී සදහන් කළේය.
අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ,බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී .ආර් සිල්වා යන මහත්වරුන්  මෙහිදී අදහස් පළ කළ අතර, ගරු අධිකරණ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නීතීඥ ජනක රණතුංග මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ප්‍රධානීන් මෙම අවස්ථාවට එක් විය.