රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ බාලවයස්කාර දැරියගේ පිළිස්සීමේ සිද්ධිය – හැමෝටම “මිස්වුණ” ඉෂාලිනීලාගේ කතාව

0
By: මේඝා චින්තාමණි 
මේවන විට උණුසුම් මාතෘකාව බවට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ බාලවයස්කාර දැරියගේ පිළිස්සීමේ සිද්ධියට අදාලව කිහිපදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. එකී පරීක්ෂණය හමුවේ තවත් හෙළිදරවුවක් සිදු වූයේ එම නිවසේ තවත් දැරියක් දුෂණයට ලක් වීමක් වාර්තා වෙමිනි. ළමා හා කාන්තා කාර්යාංශයද පරීක්ෂණයක් සිදු කරයි. නොයෙක් පැති වලින් පරිෂණ සිදු වෙද්දී  විමර්ශන ගැනද සමාජයේ දැඩි විවේචනයක් මතුවීය

“ජූඩ් කුමාර් ඉෂාලිනී” ගැන විවිධ සංගම් ක්‍රියාකාරීන් මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් මාතෘකාවක් වී තිබෙන මෙම සිද්ධියේ ඇසනොගැටුණ තැන් කිහිපයක් Thesundayreader අප ගෙන හැර දැක්වීමට කැමැත්තෙමු

වතුකරයේ ඛේදවාචකය 

ඉෂාලිනී සිද්ධිය තුලින් මතුකෙරෙන වතුකරයේ සමාජය මුහුණදී ඇති බරපතල ඛේදවාචකය හා විශේෂයෙන් බාලවයස්කාර දැරියන් මුහුණදෙන කුරිරු යථාර්තයක්ද ඇත. මාරිමුත්තු සතිවේල් පියතුමා පැවසුයේ, කදුකරයේ දෙමළ තරුණියන් මෙහෙකාර සේවයට තල්ලු කිරීම ශ්‍රී ලංකාවේ කුප්‍රකට වර්ගවාදි සංහාරයේම තවත් පැතිකඩක් බවත් රටේ ආර්ථිකය සහ සංවර්ධනය දෙමළ ජනතාවට තවමත් උරුම වී නැති අතර ඔවුන් මේ රටේ ප්‍රජාවක් ලෙසත් පිළි ගෙන නොමැති බවත් ය.
ලංකාවේ පවතින නීතියට අනුව වයස අවුරුදු 16 අඩු ළමුන් සේවයට යොදා ගැනීම සපුරා තහනම් වන අතර  එය බරපතල වරදකි. ජුලි 03 වන දින උදෑසන 6.30ට පමණ මෙම දැරිය පිලිස්සීමට ලක් වීමෙන් පසු දින 12ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියාය. අවුරුදු 16 ට වඩා බාල දැරියක් බැවින් එවැනි දැරියක් මෙහෙකාර සේවයට යොදා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින්ට එරෙහිව වහාම  නීතිමය පියවර ගතයුතු බව සඳහන් වුවත් මේවනවිට අනාවරණය වී ඇත්තේ ඇය මෙහෙකාර සේවයට එනවිට ඇයගේ වයස අවුරුදු 16 ඉක්මවා ඇති බවය.
රිෂාඩ් කොහෙද ?
රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා පළමුව අත්අඩංගුවට ගනු ලබන්නේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 19  (2020/10/19) දිනයි. ඔහුව ඇපමත මුදාහරිනු ලබන්නේ,  පසුගිය වසරේ දෙසැම්බර් 11 ( 2020/12/11) දිනයි. ඉෂාලිනී දැරිය සේවයට පැමිණෙන විට රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයා පසුවුයේ අත්අඩංගුවේය. මෙම දැරිය සිය නිවසේ මෙහෙකාර සේවයට බඳවා ගන්නා අවස්ථාවේදී මෙන්ම පිළිස්සීමට ලක්ව මියැදෙන අවස්ථාව වනවිටද රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවේ පසුවිය. 2021 අප්‍රේල් 24 දින මැදියම් රාත්‍රී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් රිෂාඩ් මන්ත්‍රීවරයා මේවනවිට මාස 3කට වැඩි කාලයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අධිකරණයට ද ඉදිරිපත් නොකොට 4 වන තට්ටුවේ රඳවා ගෙන සිටියි.
පොලිසිය විසින් අධිකරණය වෙත ලබාදී ඇති වාර්තාවකට අනුව මෙම දැරිය වයස අවුරුදු 12 සිට ලිංගික අතවරයට ලක්ව ඇත. අධිකරණ වෛද්‍ය වාර්තාවට මුළු ශරීරයෙන් 72% ක් ගිනි ගැනීමකින් දැවී ඇති බවට පෙන්නුම් කරයි. පශ්චාත් මරණ පරීක්ෂණ තුලින් ගර්භනී ලක්ෂණ නොපෙන්වන බවත් නමුත් විටින් විට දැඩි යෝනි ලිංගික ප්‍රවේශයකට ලක් ව ඇති බවත් අනාවරණය වී ඇත. මෘදු පටක සහ අභ්‍යන්තරව සාපරාධී ලෙස සැක කල හැකි හානි පිළිබඳ සාක්ෂි නොමැත.
විමර්ෂණ අනාවරණයන්
පොලිස් විමර්ශන වලදී මේවනවිට අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව, මෙම දැරියගේ සහෝදරයකු  ද බත්තරමුල්ල ‘සෙන්සාල්’ ආයතනයේ සේවයට එක්ව ඇත්තේ වයස අවුරුදු 16 දීය. මෙම දැරියගේ මවගේ පළමු කසාදයේ සැමියා සිය දිවි නසා ගෙන ඇති බවට වාර්තාවේ. පළමු සැමියාගේ විවාහයෙන් අයට ඒ එක් පුතෙකු සහ දියණියක් සිටියි. දෙවෙනි කසාදේ සැමියාගෙන් දරුවන් හතරකි. එහි වැඩිමල් දියණිය ඉෂාලිනී වේ. වතුකරයේ සෙසු පවුල් ලෙසම  ඉෂාලිනීගේ දෙමාපියන් ද දැඩි ආර්ථික පිඩා මැද දිවි ගෙව් බව අනාවරණය වේ.
දුව මෙහ‍ෙකාරකමට යැව්වේ ණය ගෙවාගන්න බැරි නිසයි දැරියගේ මව රාජමානික්කම් රංජනී පවසන මේ කතාව හදවතට සැබවින්ම කාවදින්නකි. හැටන් ඩයගම ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දැරිය ඉකුත් නොවැම්බරයේ සිට රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට ගොස් ඇත්තේ තැරැව්කරුවකු මාර්ගයෙනි.
තම දියණියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරගැනීම සඳහා මැදිහත් වන ලෙස මියගිය දැරියගේ මව්පියන් මහනුවර මානව හිම්කම් කාර්යාලයට පැමිණ එහි අධ්‍යක්ෂක නන්දන මනතුංග පියතුමා ගෙන් ඉල්ලීමක් කර ඇති අතර එම කාර්යාලයට පැමිණිල්ලක්ද කරතිබේ. ගැහැනු දරුවන් පස් දෙනකු හා එක් පිරිමි දරුවකුගෙන් යුත් පවුලේ සිටින පවුලේ තෙවැන්නා බවත් දැරියගේ මව සඳහන් කරයි.
“කොරෝනා කාලයේ මගේ මහත්තයාට සහ පුතාට වැඩ තිබුණේ නැති නිසා ජීවත්වෙන්න තැන් තැන්වලට ණයවෙන්න සිදුවුණා. දුව මෙහෙකාර සේවයට එක්කගෙන ගිය කෙනාගෙනුත් රත්තරන් බඩුවක් තියලා රුපියල් තිස් දහස් ගණනක් අරන් තිබුණා. එයා අපේ නිවසට ඇවිත් ඔයාට අවුරුදු 13ක සහ දෙකක පොඩි ළමයි ඉන්න නිසා අම්මා ගෙදරින් ගියොත් ඒ ළමයි පවු. ලොකු දුවල දෙන්නගෙන් කෙනෙක් ගෙදරක සේවයට එවන්න කිව්වා. ඒ වෙලාවේ ඉෂාලිනී දුව යන්න කැමති වුණා. මිදුලට ඇවිත් මිනිස්සු ණය ඉල්ලල කෑ ගහන නිසා මම යන්නම් කිව්වා. අයියට විතරක් ණය ගෙවන්න අමාරුයි. මම ගිහින් මේ ණය ටික බේරන්නම් කීවා.” යැයි ඇය වැඩිදුරටත් පැවසීය.
සමාජීය දේශපාලන විරෝධතා
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කල වතුකරයේ දෙමල දැරියක් පිළිස්සී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, බී. දිගම්බරම්, එම්. උදය කුමාර් සහ වේලුකුමාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම පැමිණිල්ල සිදුකර තිබේ. රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සිටි 16 හැවිරිදි දැරිය පිළිස්සී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉතාම ඉක්මනින් පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ජුලි 20 දා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
සිද්ධිය සම්බන්දයෙන් ජනතාවද එකතු වූ අයුරක් දක්නට තිබිණි. හැටන් නගරයේදී විරෝධතාවය කඳුරට ජනතා පෙරමුණ හා කඳුරට කම්කරු පෙරමුණ විසිනි. වතු ආශ්‍රිත ප්‍රදේශවල මෙවැනි දරුවන් ඇතුළු තරුණියන් විශාල පිරිසක් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවයේ යෙදී සිටිති. ඒ දරුවන්ටද ඉදිරියේදී මෙවැනි අපරාධ නොවීම සඳහා මෙම දැරිවියගේ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වා මේ අපරාධයට සම්බන්ධ වගකිව යුත්තන්ට දැඩි දඩුවම් ලබා දෙන ලෙස උද්ඝෝෂණයට එක්වෙමින් කදුරට ජනතා පෙරමුණේ රාධා ක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා පැවසීය. කදුකරයේ දෙමළ තරුණියන් මෙහෙකාර සේවයට තල්ලු කිරීම ශ්‍රී ලංකාවේ කුප්‍රකට වර්ගවාදි සංහාරයේම තවත්  පැතිකඩක් බව කළු ජුලියෙන් බැට කෑ පියතුමෙක් පවසයි.
රටේ ආර්ථිකය සහ සංවර්ධනය දෙමළ ජනතාවට තවමත් උරුම වී නැති අතර ඔවුන් මේ රටේ ප්‍රජාවක් ලෙසත් පිළි ගෙන නොමැති බව ද ලක්ෂ තුනක්, හතරක්, පහක් වන එම පිරිස තමන්ගේ උපන්  භුමියෙන් පිටමං කළේ කවුදැයි ප්‍රශ්න කළ පියතුමා වැඩි දුරටත් පෙන්වා දුන්නේ මේ රටේ පවතින ජාතිවාදය නිසා ඔවුන්ට සංවර්ධනය අයිති වී නොමැති බව ද මාරිමුත්තු සතිවේල් පියතුමා පැවසුහ.
එක මවකගේ දරු කැල බැවිනා යමු යමු වී නොපමා.කියලා කිව්වට එක වගේ කාටත් සලකන්නේ නැත්නම් හිෂලිනීලා වගේ බොහෝ අයට ප්‍රමාද වෙනවා. ඇයට අත්වුණු ඉරණම හෙට තව කෙනෙකුට අත්වෙන්නත් පුළුවන් යනුවෙන් සමාජ ක්‍රියාකාරී මහින්ද රුබසිංහ මහතා පවසයි.
නූතන සමාජීය ඛේදවාචකයන්ට වගවෙමු
 
කවර පැත්තකින් සිද්ධියේ වැරදිකරුවන් සෙව්වත් පාසල් යායුතු දැරියක් පාසල් නොයාමයි ගැටළුවේ මුල වන්නේය. පවුලේ නැති බැරිකම තවත් පැත්තක කතාවක් මරණයට ඍජු වරදකරුවන් කවුරුන් වුවත් ලාබාල දැරියකගේ අධ්‍යාපන අවස්ථාව අහිමි කිරීම සමාජවාදි ජනරජයක් කියා කියන රට. රාජ්‍ය. විටින් විට පාලනය කර ආණ්ඩු වගකිවයුතුය . හිෂලිනීගේ මවගේ කතාවට හදවත් රිදෙනවා. බොහොමයක් ග්‍රාමීය දුගී වැඩිහිටියන් දරුවන්ගේ කුස පිරවීම මූලික කර ගෙන බලනවා මිස වෙනත් දෙයක් ඉස්සර කර ගන්නේ නැත. ඔවුන්ට අධ්‍යාපනයේ වටිනාකම දැනුනත් නොදැනුනත් සැබෑ බිම්මට්ටමේ තත්වය එසේය.  “නගරෙට කිරි ගමට කැකිරි” කට කහනවට කියන කතාම නොවෙයි. ඒකයි දරුවන්ගේ අධ්‍යාපනය රටක ආණ්ඩුවකට අත්නොහල හැකි බවට පත්වන්නේය. වතුකරයේ තත්වයන් දශක ගණනාවක් එකම ලෙසට පවතී. එම පාසල්වලට අදත් ගුරුවරු හිගයි. ඉතින්  ඉෂාලිනීලාට අධ්‍යාපන වරම් අහිමි වීම ගැන තවත් කවර කතාද? මෙකී මූලික සංවර්ධනයන් නොවන්න තවත්  ඉෂාලිනීලා දැනුවත්ව නොදැනුවත්ව මිහිවනු ඇත. මෙය අද හෝ කතා කල යුතුව ඇත්තේ උපන් නූපන් දරුවන් වෙනුවෙනි. ඒ නිසා ඔබට කළහැකි වගකීම මේ වෙනුවෙන් ඉටුකරන්න.