පරිසර හිතකාමී නව කාබන් පෑන

0
දිනපතා පාසැල් පද්ධතිය තුළින් හා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යාල මගින් බැහැර කරන ප්ලාස්ටික්වලින් සකස් කරන ලද කාබන් පෑන් නිසා සිදුවන පරිසර හානිය වැළැක්වීමට විකල්පයක් වශයෙන් දිරාපත් වන ද්‍රව්‍ය භාවිතයෙන් සකස් කළ මුලුමනින්ම පරිසර හිතකාමී කාබන් පෑනක් මහනුවර වටපුළුවේ සචිනි ක්‍රිස්ටිනා සුගිර්දන් මෙනවිය හා ඇයගේ පියා වන සුගිර්දන් මහතා විසින් හඳුන්වා දී තිබේ. සචිනි ක්‍රිස්ටිනා සුගිර්දන් හා ඇයගේ පියා විසින් තමන් නිපදවන ලද පරිසර හිතකාමී කාබන් පෑන පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත පිළිගන්වනු ලැබීය.
මෙය පරිසර හිතකාමී වන අතර හිස් වු කාබන් පෑන් බැහැර නොකර එය පසෙහි රෝපණය කිරීම මගින් එළවලු හා පලතුරු පැල වගාකිරීමට ද හැකි වන පරිදි මෙම නව නිපැයුම හඳුන්වා දී ඇත. මෙහිදී අදහස් පළ කළ සචිනි ක්‍රිස්ටිනා සුගිර්දන් මෙම නිෂ්පාදනය තමන් හඳුන්වා දුන්නේ පරිසර හානිය වැළැක්වීම සඳහා බවත්, මෙම පෑන පැල කළ හැකි බවත් ප්‍රකාශ කළාය.
මෙම පෑන රෝපණය කළ හැකියි. එවිට පලතුරු, එළවලු හා අල වර්ග පවා හදා ගන්න පුලුවන්. මෙම පෑනට එම බීජ ඇතුළත් කර නිෂ්පාදනය කර තිබෙනවා යැයි ද ඇය සඳහන් කළාය.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා අපේ රටේ දිනපතා පාසැල් පද්ධතිය තුළින් පමණක් හිස් කාබන් පෑන් කිලෝ ග්‍රෑම් 80-100ක් අතර පමණ ප්‍රමාණයක් බැහැර කරන බව සඳහන් කළේය. මේ අන්දමින් පරිසරයට බැහැර කරන ප්ලාස්ටික් කාබන් පෑන් නොපෙනී දිරාපත්වීම සඳහා අඩු තරමින් වසර 100ක් පමණ ගත වන අතර ක්ෂුද්‍ර ප්ලාස්ටික් අණු වසර 400ක් පමණ පස තුළ නොදිරා පවතින බව තහවුරු වී ඇති බවය.
එමෙන්ම මේවා පරිසරයට එක්වීම වැළැක්වීම සඳහා විශේෂ බහාළුමක් පරිසර අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇත. එමගින් එකතු කරන කාබන් පෑන් හා දත් බුරුසු INSEE සිමෙන්ති සමාගම හා එක්ව විනාශ කෙරේ. එහෙත් කාබන් පෑන් පිළිස්සීමේ දී ඉන් නිකුත්වන කාබන් සහිත වාතය නිසා වායු ගෝලය අපවිත්‍ර වේ.
එමනිසා මෙම දිරාපත් වන අමුද්‍රව්‍යවලින් සකස් කරන ලද කාබන් පෑන ඉතාමත් කාලෝචිත බවත් , පරිසරය සුරක්ෂිතතාවය උදෙසා එම දැරිය විසින් සිදු කරන ලද සේවය අමාත්‍යවරයා අගය කළේය. මෙවැනි නිෂ්පාදනයක් මින් පෙර ලෝකයේ කිසිදු රටක නිපදවා ඇති බවක් වාර්තා නොවන බව කී අමාත්‍යවරයා පැල කළ හැකි කාබන් පෑනක් යනු ලෝකයේ පළමු වතාවට නිපදවන ලද නිෂ්පාදනයක් විය හැකි බව ද කීය. මෙහිදී අමාත්‍යවරයා විසින් ඇයට ඇගයීමේ සහතික පත්‍රයක් පිළිගන්වනු ලැබීය.