බිම්ශානිගේ අරගලය

0
By: මේඝා චින්තාමණි
ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස උසස්වීම් ලද බිම්ශානි ජයසිංහආරච්චි මියගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් විවිධ පාර්ශව එකතු වෙමින් සිටිති. ඒ අනුව ඇය වෙනුවෙන් පෙනී සිටින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි. කාන්තාවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් කප්පාදු කිරීමට ඇතැම් පාර්ශව දරන උත්සාහයන් පිළිබඳ සිය සංගමය කණගාටුව පළ කර බව ඔවුන් සදහන් කරයි.
නියෝජ්‍ය පොලිස්පති බිම්ශානි ජයසිංහආරච්චිගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32 දෙනෙකු විසින් ඉකුත්දා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.  නියෝජ්‍ය පොලිස්පතිවරියගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ද මීට පෙර ප්‍රකාශ කළේය.
පොලිස් දෙපාර්තමේන්තුවේ මේවන විට කාන්තා නිලධාරිනියන් 5000ට ආසන්න ප්‍රමාණයක් සේවය කරති. ලංකාවේ සමස්ත ජනගහනයෙන් කතාවන්ගේ ප්‍රතිශතය සියයට 54කි. ඒ අනුව ගැහැණියක් වූ පමණින් සුදුසුකම අභියෝගයට ලක් කර තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ පුරුෂාධිපත්‍යය පතුරුවාගෙන සිටින නිලධාරින්ගේ උවමනාව මත බව බොහෝ අය පවසති. සෑම අතින්ම සුදුසුකම් සපුරා ඇත්නම් නම් එය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියෝගයකට ලක් කිරීම විහිළුවක් නමුත් එදා සුද්දා පොලිසිය ස්ථාපිත කිරීමේදී කාඩර් එක නිර්මාණය කිරීම හේතුවෙන් මේ ගැටලුව පැන නැගී ග්‍රේෂ්ඨාධිකරණය ට ඉදිරිපත් කර ඇති නමුත් කාන්තාව හෝ පුරුෂ නොව ඇය තනතුරට සුදුසුකම් ලබා ඇත්නම් එම තනතුර අනිවාර්යෙන් ඇයට හිමිවිය යුතුයි යනුවෙන් එක් කාන්තා උසස් පොලිස් නිලධාරිනියක්  අප සමඟ පැවසුවේය. එමෙන්ම පිරිමි නිලධාරීන් බොහොමයක් උසස් නිලධාරීන් සේවය  කරන්නේ තමන්ගේ තානාන්තර උදෙසා බවද ඇයගේ අදහස විය.
එමෙන්ම අප කල විමසුමට පිළිතුරු දෙමින් බොදුබල සේනාවේ ලේකම් ඩිලන්ත විතානගේ මහතා ද පැවසුවේ පොලීසිය සුද්ද කල යුතු බවත් පොලිස් පණත වෙනස් කොට කාන්තා අයිතිවාසිකම් තහවුරු කිරීමට වැඩපිළිවෙලක් ද සැකසිය යුතු බවත්ය.
පොලිස් දෙපාර්තමේන්තුවම කළඹන සුළුවූ මෙම ගැටළුව හරහා පොලිසිය කාන්තාවට අඩු සැලකුමක් ලබා දෙනවද යන්න මේ වන විට සමාජය තුල දැඩි කථිකාවකට පත්ව තිබේ.  සමාජ මාධ්‍ය ඔස්සේද දැඩි විවේචයට ලක් වන මෙම සිදුවීම අරඹයා  අප කල විමසුමට පිළිතුරු දෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ කාන්තා නිලධාරිනියන්ට කිසිදු ආකාරයේ වෙනස්කමක් පොලිසියෙන් නොවන බවය.  ශ්‍රී ලංකා පොලිසිය කාන්තා නිලධාරිනියන්ට වෙනස්කොට සැලකීම සිදුවන බවට සහ අසාධාරණකම් සිදු කරන බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.
එමෙන්ම ඇතැම් කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන අයුරින් කටයුතු කර ඇති බවට සහ ඇතැම් නිලධාරිනියන් පුද්ගලික පලිගැනීම්වලට ලක්ව ඇති බවට ඉකුත් දිනවල සමාජ මාධ්‍ය ජාලාවල පළවූ පුවත්වල කිසිදු සත්‍යතාවයක් නැති බවද ඔහු පැවසුවේය.
සෑම ක්ෂේත්‍රයකම පාහේ තීන්දු තීරණ ගන්නා උසස් තනතුරු වල ස්ත්‍රී නියෝජනය ශෝචනීය ලෙස අඩු ශ්‍රී ලංකාව වැනි රටක ස්ත්‍රී ප්‍රජාවට කලාතුරකින් ලැබෙන මෙවැනි ජයග්‍රහණද අවලංගුවීමේ ලකුණු පෙනෙන විට එය සමානාත්මතාවය සහ සාධාරණත්වය අගය කරන ජනතාවගේ කැළඹීමට හේතු වීම පුදුමයක් නොවන බව ජාතික බුද්ධිමය සංවිධානය (NIO) පවසයි. ඔවුන්ද මේ ගැන අදහස් දක්වමින්  ‘කාන්තාවන්’ යන වචනය රෙගුලාසි වල නැති නිසා කාන්තාවකට ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය පොලිස්පති තනතුරක් දැරිය නොහැකිය යන අදහසේ ඉතා ගැඹුරු සමාජ ගැටළුවක් ඇත. රෙගුලාසි වල ‘කාන්තාවන්’ නැතිනම්, රෙගුලාසි වලට එය එකතු කිරීමට මෙතුවක් කල් පියවර නොගැනුණේ ඇයි? පෙත්සම් ගසන්නට ඇති කඩිසර බව සහ උනන්දුව, මෙවැනි ගැටළු නිවැරදි කිරීමට නැත්තේ මන්ද? යනුවෙන් ඔවුන් ප්‍රශ්න කරයි. ශ්‍රී ලංකා සමාජයේ වෙනසක් සඳහා කැපවී සිටින බුද්ධිමතුන්, වෘත්තිකයන්, සිවිල් සහ දේශපාලන ක්‍රියාකාරීන් සහ පුරවැසියන්ගෙන් සැදුම්ලත් සිවිල් කණ්ඩායමක් වන මෙම සංවිධානයද මෙය තරයේ හෙලා දකිමින් සමාන අයිතිවාසිකම් කාන්තාවකට ලබා දිය යුතු බවද සදහන් කළේය.
ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා නියෝජනය තවදුරටත් වර්ධනය කිරීම සඳහා කාන්තා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු 01 ක්, කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුරු 04 ක්, කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරු 12 ක් ඇති කිරීම සඳහා 2019 වසරේ දෙසැම්බර් මස 12 වනදා යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එක් තනතුරක් පමණක් අනුමතව තිබියදී ජාතික පොලිස් කොමිෂන් සභාව හා සාකච්ඡා කර එයට අමතරව කාන්තා නිලධාරිනියන් 09 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් කිරීම සඳහා 2019 වසරේදී කටයුතු කර ඇත.
රාජ්‍ය ආයතනවල අනුමත තනතුරුවලින් සියයට 15 ක ප්‍රමාණයක් කාන්තා නිලධාරිනියන් හට වෙන් කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව ශ්‍රී ලංකාපොලිසිය තුළ ද තනතුරුවලින් සියයට 15 ක ප්‍රමාණයක් කාන්තා නිලධාරිනියන් සඳහා සම්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු සලසා ඇත. පොලිස් නිලධාරිනියන් වෘත්තීමය වගකීම් ඉටු කිරීමට බැඳී සිටිය ද ඔවුන්ට තම පවුල් ඒකකය තුළ මවක්, බිරිඳක් ලෙස පැවරී ඇති සුවිශේෂී භූමිකාවට කිසිදු හානියක් නොවන පරිදි රාජකාරි සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට නිරන්තරයෙන් කටුතු කර ඇති බව ද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඒ අනුව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනි බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මිය මෙරට ප‍්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පත් කිරීම අභියෝගයට ලක්කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32 දෙනකු විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් නඩුව සලකා බැලීම සඳහා ලබන මැයි 18 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කලේ එම මූලික අයිතිවාසිකම් පෙත්සම මුර්දු ප‍්‍රනාන්දු, ශිරාන් ගුණරත්න හා අචල වෙංගප්පුලි යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
 එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් මේ වනවිට එම නියෝජ්‍ය පොලිස්පතිනියට ලබාදී ඇති උසස්වීම කි‍්‍රයාත්මක කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් පෙත්සම්කරුවන් අධිකරණයෙන් අපේක්‍ෂා කරන බව කියා සිටියේය.
 එම පෙත්සමට අදාළ ලේඛන තම පාර්ශ්වය වෙත මෙතෙක් ලැබී නොමැති බවත් එකී ලේඛන ලැබුණු පසු පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මූලික විරෝධතා ගොනු කිරීමට අපේක්‍ෂා කරන බවත් බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය මහතා පැවසීය.
 එම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පසුගිය 16 සිට ඉදිරි සති තුන ඇතුළත විරෝධතා ගොනුකරන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයට නියෝග කළ අතර එකී සති තුන අවසන් වූ පසු ඉදිරි සතිය ඇතුළත ඒ සම්බන්ධයෙන් ප‍්‍රති විරෝධතා ගොනුකරන ලෙසට පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළේය.
 මෑතකදී පොලිස් දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන ලද උසස්වීම් කි‍්‍රයාවලියේදී බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මිය නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීම, උසස්වීම් රෙගුලාසිවලට පටහැනි බවත් එම රෙගුලාසිවල ‘කාන්තා’ යන වචනය සඳහන් නොවන බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් අධිකරණයට දන්වා තිබිණි.